වසර 2014 සිට අයදුම්කරුවන්ගේ චරිතය සහ පෙර වැරදි මත ඔස්ට්‍රේලියානු වීසා 10,000 ක් පමණ අවලංගු හෝ ප්‍රතික්ෂේප කළ බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.
ඔස්ට්‍රේලියානු ජනතාව ආරක්ෂා කිරීමට මධ්‍යම රජය එහිදී තීරණාත්මක ලෙස ක්‍රියා කර ඇති බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Alex Hawke, ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිනී Karen Andrews සමග එක්ව නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.
Highlights
- 2014 සිට ඔස්ට්‍රේලියානු වීසා 7,000 ක් පමණ අවලංගු කර ඇති බවත් 3,000 කට අධික වීසා සංඛ්‍යාවක් ප්‍රතික්ෂේප කර ඇති බවත් වාර්තා වේ.
- විදේශීය අපරාධකරුවන්ගෙන්, මිනීමරුවන්ගෙන්, ළමා අපචාරකරුවන්ගෙන් සහ ස්ත්‍රී දූෂකයන්ගෙන් ඔස්ට්‍රේලියානු ජනතාව ආරක්ෂා කිරීමට මෙලෙස වීසා අවලංගු හෝ ප්‍රතික්ෂේප කළ බව මධ්‍යම රජය පවසයි.
- 1958 ඔස්ට්‍රේලියානු සංක්‍රමණ පනතේ 501 වැනි වගන්තිය යටතේ යමෙක් චරිත පරීක්ෂණයෙන් සමත් නොවීමට විවිධ හේතු ලැයිස්තුගත කර තිබේ.
2014 සිට ඔස්ට්‍රේලියානු වීසා 10,000 ක් අහෝසි කෙරේ
විදේශීය අපරාධකරුවන්ගෙන්, මිනීමරුවන්ගෙන්, ළමා අපචාරකරුවන්ගෙන් සහ ස්ත්‍රී දූෂකයන්ගෙන් ඔස්ට්‍රේලියානු ජනතාව ආරක්ෂා කිරීමට මෙලෙස වීසා අවලංගු හෝ ප්‍රතික්ෂේප කළ බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Alex Hawke පැවසීය.
ඔස්ට්‍රේලියානුවන් අනතුරට පත් කරන හෝ අපරාධ ක්‍රියාකාරකම්වල යෙදෙන ඔස්ට්‍රේලියානු පුරවැසියන් නොවන පුද්ගලයින් හට වත්මන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය කිසිදු සමාවක් නොදෙන බව ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිනී Karen Andrews පැවසුවාය.
මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.
"ඔස්ට්‍රේලියාවට පැමිණ මෙහි වාසය කිරීම භාග්‍යයකි. අපගේ නීති අනිසි ලෙස භාවිතා කරන හෝ අපගේ ප්‍රජාවට හානි කරන කිසිවෙකුට ඔස්ට්‍රේලියාවේ ඉඩක් නැහැ." යනුවෙන් ඇමතිනී Andrews සඳහන් කළාය.
2014 සිට ඔස්ට්‍රේලියානු වීසා 7,000 ක් පමණ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අවලංගු කර ඇති බවත් 3,000 කට අධික වීසා සංඛ්‍යාවක් ප්‍රතික්ෂේප කර ඇති බවත් ඇය සිය නිවේදනයේ පෙන්වා දී තිබේ.

Minister for Home Affairs Karen Andrews. Source: AAP
ඔස්ට්‍රේලියාවේ නීතිවලට අනුකූල වීම සහ වටිනාකම්වලට ගරු කිරීම
ඔස්ට්‍රේලියාවට පැමිණීමට හෝ ඔස්ට්‍රේලියාවේ ජීවත් වීමට අවශ්‍ය ඔස්ට්‍රේලියානු පුරවැසියන් නොවන පුද්ගලයින් ඔස්ට්‍රේලියාවේ අනන්‍යතාවය, නීති, සෞඛ්‍යය සහ චරිත අවශ්‍යතාවලට අනුකූලව කටයුතු කිරීම අත්‍යවශ්‍ය බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Alex Hawke පැවසීය.
ඔස්ට්‍රේලියානු පුරවැසියන් නොවන ප්‍රචණ්ඩකාරී සහ ලිංගික අපරාධකරුවන්ගෙන් ඔස්ට්‍රේලියානුවන් ආරක්ෂා කිරීම මොරිසන් රජය ඉතා බැරෑරුම් ලෙස සලකන බවද ඔහු අවධාරණය කළේය.
ඔස්ට්‍රේලියානු පුරවැසියන් නොවන භයානක සහ සාපරාධී පුද්ගලයින් ඔස්ට්‍රේලියානු වීසා බලපත්‍රයක් ලැබීමට සුදුසු නැති බවද ඔහු සඳහන් කළේය.
වසර 2014 සිට ඔස්ට්‍රේලියානු වීසා 10,000 ක් අවලංගු කිරීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට මධ්‍යම රජය ක්‍රියා කර ඇත්තේ ද එබැවින් බව ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Alex Hawke සිය නිවේදනයේ දක්වා තිබේ.
ඔස්ට්‍රේලියානු වීසා කොන්දේසි වලට අනුකූල නොවන ලෙස කටයුතු කිරීම හෝ ඔස්ට්‍රේලියානු ප්‍රජාවගේ සෞඛ්‍ය සහ ආරක්ෂාවට අවදානමක් ඇති විය හැකි ලෙස කටයුතු කිරීම ඔස්ට්‍රේලියානු පුරවැසියන් නොවන පුද්ගලයින්ගේ වීසා අවලංගු කිරීම සඳහා වගකියන ප්‍රබල හේතුවේ.
ඔස්ට්‍රේලියාවෙන් විදේශීය අපරාධකරුවන් ඉවත් කිරීමේ නව නීති පනත් කෙටුම්පතක් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් මධ්‍යම පාර්ලිමේන්තුවට ගෙන ආ අතර ඊට එරෙහිව පසුගිය සතියේදී කම්කරු පක්ෂය සිය ඡන්දය ප්‍රකාශ කළේය.
තම පක්ෂය ඊට විරුද්ධව ඡන්දය භාවිත කළේ ඇයිදැයි කම්කරු පක්ෂ නායක Anthony Albanese ඔස්ට්‍රේලියානු ජනතාවට පැහැදිලි කළ යුතු බවද ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Alex Hawke පැවසීය.

Immigration Minister Alex Hawke Source: AAP
චරිතය අනුව ඔස්ට්‍රේලියානු වීසා අවලංගු සහ ප්‍රතික්ෂේප කළ හැකි හේතු
1958 ඔස්ට්‍රේලියානු සංක්‍රමණ පනතේ 501 වැනි වගන්තිය යටතේ යමෙක් චරිත පරීක්ෂණයෙන් සමත් නොවීමට විවිධ හේතු ලැයිස්තුගත කර තිබේ.
චරිතය අනුව ඔස්ට්‍රේලියානු වීසා අවලංගු සහ ප්‍රතික්ෂේප කළ හැකි පහත හේතු තුන ඒ අතරින් ප්‍රධාන වේ.
අදාළ පුද්ගලයාට සැලකිය යුතු අපරාධ සම්බන්ධයෙන් ඉතිහාස වාර්තා තිබීම.
අදාළ පුද්ගලයා ඔස්ට්‍රේලියානු ප්‍රජාවට අනතුරක් සිදුකරයි යන විස්වාසය.
අදාළ පුද්ගලයාගේ අතීත සහ වර්තමාන අපරාධ හෝ සාමාන්‍ය හැසිරීම් හේතුවෙන් ඔහු යහපත් චරිතයක් නොමැති බව ආගමන කටයුතු අමාත්‍යවරයා තීරණය කිරීම.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.