2019 එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ඊයේ (14/07) එංගලන්තයේ ලෝඩ්ස් ක්‍රීඩාංගනයේදී පැවති අවසන් මහා තරගයෙන් නවසීලන්තය පරාජයට පත් කරමින් එංගලන්තය එක් දින ක්‍රිකට් ලෝක කුසලානය හිමි කරගත්තේය.
ඒ අනුව වසර 44 ක ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ ප්‍රථම වරට එක් දින ක්‍රිකට් ලෝක කුසලානයක පහස විඳීමට එංගලන්තයට හැකියාව ලැබිණි.
මේ අතර එක් දින ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසයේ අතිශය උණුසුම් ම අවසන් මහා තරගය ලෙසද ඊයේ පැවති අවසන් මහා තරගය හැඳින්වේ.
කාසියේ වාසිය දිනූ නවසීලන්තය ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 8 කට ලකුණු 241 ක් රැස් කිරීමට සමත් විය.

Source: Getty Images
නවසීලන්තය වෙනුවෙන් Henry Nicholls ලකුණු 55 ක් ලබාගත්තේය.
ජයග්‍රාහී ලකුණු 242 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායමට නියමිත පන්දුවාර 50 අවසානයේ සියලු දෙනා දැවී ලබාගැනීමට හැකි වුයේ ද ලකුණු 241 ක් බැවින් තරගය සම ලකුණු වලින් අවසන් විය.
ඉන් අනතුරුව දෙපිළටම සුපිරි පන්දු වාරය බැගින් ලැබුණු අතර එංගලන්තය තම සුපිරි පන්දු වාරයේදී ලකුණු 15 ක් ලබාගත්තේය.
ඉන් අනතුරුව නවසීලන්තයද තම සුපිරි පන්දු වාරයේදී ලකුණු 15 ක් ලබාගත් හෙයින් නැවතත් තරගය සම තත්ත්වයෙන් අවසන් විය.
කෙසේනමුත් සමස්ත තරගයේම වැඩිම හතරේ පහර සංඛ්‍යාවක් එල්ල කිරීමේ මිනුම් දණ්ඩ මත අවසානයේදී එංගලන්තයට මෙවර එක් දින ක්‍රිකට් ලෝක කුසලානය හිමි විය.
එංගලන්ත පිල වෙනුවෙන් නොදැවී සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ Ben Stokes තරගයේ වීරයා සම්මානය හිමි කරගත්තේය.

Source: AFP
ඔහු හයේ පහර දෙකක් සහ හතරේ පහර පහක් සමගින් පන්දු 98 කදී ලකුණු 84 ක් නොදැවී ලබාගැනීමට සමත් විය.
මේ අතර නවසීලන්ත නායක Kane Williamson තරගාවලියේ වීරයා සම්මානය හිමි කරගත්තේය.
මීළඟ එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලිය 2023 වසරේදී ඉන්දියාවේදී පැවැත්වීමට තීරණය කර ඇත.

Source: SBS Sinhala