ඔස්ට්‍රේලියාවට වාර්ෂිකව බාරගනු ලබන සංක්රමණිකයින්ගේ ප්‍රමාණය මේ වසරේ සිට 20,000 කින් පමණ අඩු කිරීමට රජය තීරණය කර ඇති බව පසුගිය සතියේදී වාර්තා විය.
මේ හේතුවෙන් නිපුණතා සංක්‍රමණික වීසා යටතේ ඔස්ට්‍රේලියාවට පැමිණීමට සහ ඔස්ට්‍රේලියාවේ සිට එම වීසා වර්ගය සඳහා අයදුම් කළ සහ කිරීමට අපේක්ෂා කරන පුද්ගලයින් හට සැලකිය යුතු බලපෑමක් සිදුවන බවද වාර්තා විය.
කෙසේනමුත්, ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියාවට බරක් නොවන බවත් ඔවුන් ඔස්ට්‍රේලියාවේ දියුණුවට සහ සමෘද්ධියට රුකුලක් බවත් අද (17/04) නිකුත් කළ නවතම පර්යේෂණ වාර්තාවකින් අනාවරණය කර තිබේ.
ඔස්ට්‍රේලියාවේ මහා භාණ්ඩාගාරයත් (Treasury) ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවත් (Department of Home Affairs) එක්ව පැවැත්වූ පර්යේෂණයක ප්‍රතිඵල මත මෙම වාර්තාව එළි දක්වා ඇත.
ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියානු රජයේ සුබ සාධන දීමනා මත නොයැපෙන බවත් ඔවුන් දේශීය ඔස්ට්‍රේලියානුවන්ගේ රැකියා පැහැර නොගන්නා බවත් එම වාර්තාවේ පැහැදිලිව සඳහන් කර තිබේ.
ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියාවට මහත් බරක් සහ පීඩනයක් ගෙනදෙන බව පවසමින් ස්ථිර පදිංචිය සඳහා ඔස්ට්‍රේලියාවට බාරගනු ලබන වාර්ෂික සංක්‍රමණික ප්‍රමාණය (Annual permanent migration intake) කප්පාදු කිරීමේ තීරණයත් සමග ඔස්ට්‍රේලියාවේ මහා භාණ්ඩාගාරය සහ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව මෙම පර්යේෂණය දියත් කළේය.
වාර්තාවට අනුව සංක්‍රමණිකයින්ගෙන් ඔස්ට්‍රේලියාවට ලැබෙන ප්රතිලාභ
- ඔස්ට්‍රේලියාවේ වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයට ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික වැඩසටහන 1% ක් දක්වා දායක වීම.
- 2020 සිට 2050 දක්වා ඔස්ට්‍රේලියාවේ වාර්ෂික දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයට උර දීම.
- ඔස්ට්‍රේලියාවේ සමස්ත ජනගහනයෙන් මහළු පුද්ගලයින්ගේ ප්‍රමාණය සංක්‍රමණික වැඩසටහන හේතුවෙන් සීමා වීම නිසා ආර්ථිකයට ධනාත්මක බලපෑමක් ඇති කිරීම.
- බහුතර සංක්‍රමණිකයින් තරුණ වියෙහි පසුවන නිසා ඔවුන්ගේ නිපුණතාවන් ඔස්ට්‍රේලියාවේ ආර්ථික ක්‍රියාවලියට ධනාත්මක ලෙස යොදාගැනීමට හැකිවීම මෙන්ම එමගින් ඉහළ ප්රතිලාභ අත් කරගැනීමට හැකිවීම.
- ස්ථිර ශ්‍රම බලකායක් ක්‍රියාත්මක වීම සහ ඔවුන්ගේ ඵලදායීතාවය ඉහළ මට්ටමක පැවතීම.
- රජයේ බදු ආදායමට ඉහළ දායකත්වයක් ලබා දීම.
- රජයේ සහනාධාර හෝ සුබ සාධන දීමනා මත නොයැපීම.

Source: AAP
ජනගහන ගැටළුව
ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයින් ගේ ප්‍රමාණය අවම කිරීමට රජය ගත් තීරණයට බලපෑ තවත් එක් හේතුවක් ලෙස සංක්‍රමණික වැඩසටහන හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ ජනගහනය ශීග්‍ර ලෙස ඉහළ යාම බවද වාර්තා විය.
මේ හේතුවෙන් රටෙහි යටිතල පහසුකම් සහ නිවාස වැනි ක්ෂේත්‍ර සඳහා ප්‍රබල බලපෑමක් එල්ලවන බව ඔවුන් දක්වා තිබුණි.
කෙසේවෙතත්, ශීග්‍ර ලෙස ඉහළ යන ජනගහනයට සහ ඉන් ඇතිවන අනිසි බලපෑම් සඳහා රජය විසඳුම් සෙවිය යුතු බවද ඔස්ට්‍රේලියාවේ මහා භාණ්ඩාගාරය සහ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව එළි දැක්වූ මෙම නවතම පර්යේෂණ වාර්තාව සඳහන් කරයි.

Source: SBS
නිගමන සහ නිර්දේශ
ඔස්ට්‍රේලියාවේ මේ වන විට ක්‍රියාත්මක වන වාර්ෂික සංක්‍රමණික වැඩසටහන යටතේ වසරකට බාරගනු ලබන සංක්රමණිකයින්ගේ ප්‍රමාණය 190.000 කි.
ඔස්ට්‍රේලියාවේ මහා භාණ්ඩාගාරය සහ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව එක්ව එළි දැක්වූ මෙම නවතම පර්යේෂණ වාර්තාව පෙන්වා දෙන ආකාරයට වාර්ෂිකව බාරගනු ලබන සංක්‍රමණික ප්‍රමාණය කප්පාදු කළහොත් එය ඔස්ට්‍රේලියාවේ ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කරනු ඇත.
එමෙන්ම, සංක්‍රමණික කෝටාව කප්පාදු කළහොත් 2020 වන විට ඔස්ට්‍රේලියාවේ ශ්‍රම බලකායද හැකිළී යාම ආරම්භ වනු ඇතැයිද එම වාර්තාව වැඩි දුරටත් අනාවරණය කරයි.
*****************************************************************************
SBS සිංහල ගුවන් විදුලියට සවන්දෙන්න පුළුවන්
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download) - (select radio 2)
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm – WA
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
********************************************************************************