විශ්වවිද්‍යාල ජීවීතය බොහොමයක් සිසුන්ට අභියෝගාත්මක කාලයකි. නමුත් මුස්ලිම් සංස්කෘතිය හා ආගමික ඉගැන්වීම් පිළිබඳව ඇති නොදැනුවත්කම නිසා මුස්ලිම් හෙද හා පවුල් සෞඛ්‍ය සිසුන් ඔස්ට්‍රේලියාව තුල සායනික පුහුණුව ලබාගැනීමේදී වෙනත්ම අභියෝග රැසකට මුහුණ දෙති.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සෞඛ්‍ය දේපාර්තුමේන්තුව මගින් අනිවාර්ය කර ඇති 'bare below the elbow' හෙවත් රෝගීන්ට සේවා සැපයීමේදී සෞඛ්‍ය සේවකයන් වැලමිට තෙක් තමන්ගේ ඇඳුමෙහි අත් නැවිය යුතුයි යන සරල නීතිය මෙන්ම විරුද්ධ ලිංගයේ පුද්ගලයින්ට උවටැන් කිරීමට සිදුවීම නිසා ඉස්ලාමීය සිසු සිසුවියන් අපහසුතාවයට පත්ව සිටියි.
SBS මාධ්‍ය ජාලයට අදහස් දක්වමින් හෙද හා පවුල් සෞඛ්‍ය සේවා පිලිබඳ කථිකාචාර්යවර්යෙකු වන Rakime Elmir පවසා සිටියේ පසුගිය දශකය තුලදී හෙද හා පවුල් සෞඛ්‍ය පාඨමාලා වලට ඇතුලුවන මුස්ලිම් සම්භවයක් ඇති සිසුන් ගනණ වර්ධනය වී ඇති බවයි.
නමුත් Western Sydney විශ්වවිද්‍යාලය තමන්ගේ ඉස්ලාමීය හෙද සිසුන් උපාධි පාඨමාලාව අවසන් නොකර ඉන් ඉවත් වන බව දැනගත් පසු ඊට පිලියමක් යෙදීමට තීරණය කළේය.
Western Sydney විශ්වවිද්‍යාලයෙන් තමන්ගේම හිජාබයක්
පවතින අභියෝග දුරුකිරීමට මුස්ලිම් ප්‍රජා නායකයින් හා සිසුන්ගෙන් උපදෙස් ලබාගැනීමෙන් පසු Western Sydney විශ්වවිද්‍යාලයේ හෙද හා පවුල් සෞඛ්‍ය පීඨය මුස්ලිම් සිසුන් සඳහා සම්පත් නිර්මාණය කිරීමෙහි යෙදුනහ. මේ යටතේ පසුගිය සතියේදී ඔවුන් ඔස්ට්‍රලියාවේ සායනික පුහුණු සිසුවියන් සඳහා වූ ප්‍රථම හිජාබය එම සිසුන්ගේ නිල ඇඳුමෙහි කොටසක් ලෙස එළිදැක්වූයේය.

Source: SBS News image supplied by Sally Tsoutas
මුස්ලිම් සිසු සිසුවියන් මුහුණදෙන අනෙකුත් ගැටලු
Western Sydney විශ්වවිද්‍යාලයේ සේවය කරන ආචාර්ය Rakime Elmir පවසා සිටියේ සංවර ඇඳුමකින් සැරසීම යන ඉස්ලාමීය විශ්වාස හේතුවෙන් බොහමයක් සිසුවියන් දැනට අනිවාර්ය කර ඇති නිල කලිසම වෙනුවට සායක් භවිතා කිරීමට කැමැත්තක් දක්වන බවයි. එසේම තවත් ප්‍රධාන ගැටලුවක් වී තිබෙනුයේ සායනික පුහුණු අවස්ථාවලදී මුස්ලිම් කාන්තාවන් වැලමිට තෙක් තමන්ගේ ඇඳුමෙහි අත් නැවීමට අකමැති වීමයි.
ආචාර්ය Rakimeට අනුව දැනට බරපතලම ගැටලුවක් බවට පත්ව තිබෙනුයේ විරුද්ධ ලිංගයේ පුද්ගලයින්ට උවටැන් කිරීමට ඉස්ලාමීය සිසු සිසුවියන් අකමැති වීමයි. මීට පෙර අවස්ථාවකදී එක් සිසුවියෙකු පිරිමි රෝගියෙකුට සේවා සැපයීමට තිබූ අකමැත්ත නිසා ඔහු නාමින් සිටියදී උවටැන් කිරීමෙන් වැළකී සිට තිබෙයි. මේ හේතුවෙන් රෝගියා නාන කාමරය තුල වැටී ඇති අතර ඉන් ජීවිත හානියක් වුවද සිදුවීමට ඉඩ තිබුනි.
මුස්ලිම් සිසු සිසුවියන් මුහුණදෙන අභියෝග වලට විසඳුම්
මුස්ලිම් කාන්තාවක් වශයෙන් ආචාර්ය Rakime පවසනුයේ මෙම අභියෝග වලට හොඳම විසඳුම මුස්ලිම් ප්‍රජා නායකයින්ගෙන් ඉස්ලාම් ආගම යටතේ සැබෑ ලෙස තහනම් ක්‍රියා විමසීම බවයි. ඇය පවසනුයේ සිසුන් අතර වැරදි වැටහීම් ඇති බවත් ඒවා දුරු කීරීමට සත්‍ය තොරතුරු සිසුන්ට ඉදිරිපත් කල යුතු බවයි.
උදාහරණයක් ලෙස ඇය පවසා සිටියේ මුස්ලිම් ප්‍රජා නායකයින් විරුද්ධ ලිංගයේ පුද්ගලයින්ට උවටැන් කිරීම ඉස්ලාම් ආගමට පටහැනි නොවනබව ප්‍රසිද්ධයේ ඇගයිය යුතු බවයි. එහිදී කෙනෙකුට උවටැන් කිරීම ඉස්ලාම් ධර්මයට අනුව හොඳ ක්‍රියාවක් බව එත්තුගැන්වියයුතුයි යන්නද ඇය පවසා සිටියාය.
සායනික පුහුණු වැඩසටහන් හි අධ්‍යක්ෂිකා Sue Willis පවසනුයේ Western Sydney විශ්වවිද්‍යාලයේ මුල් පිරීම තුලින් හෙද මුස්ලිම් සිසුන් මුහුණදෙන අභියෝග අවම කිරීමට ඔවුනට හැකි වී ඇති බවයි.
Western Sydney විශ්වවිද්‍යාලයේ උප කුලපති Barney Gloverට අනුව Western Sydney විශ්වවිද්‍යාලය ඔස්ට්‍රේලියාවේ සංස්කෘතික විවිධත්වයක් ඇති විශ්වවිද්‍යාල අතරින් ඉහලම ස්ථානයක සිටියි. ඔහු පවසා සිටියේ මුස්ලිම් සිසුන් ඉලක්කකරගත් සම්පත් හඳුන්වා දුන් පළමු විශ්වවිද්‍යාලය වීම ගැන අඩාම්බර වෙනවා වගේම සියලු දෙනාටම අධ්‍යාපනයේ නියැලිය හැකි පරිසරයක් බිහිකිරීමට විශ්වවිද්‍යාලය ගන්නා උත්සාහයන් එතුලින් මනාව පිළිබිඹු වන බවයි.
විශ්වවිද්‍යාලය විසින් සම්පාදනය කල මෙම සම්පත් දේශීය සෞඛ්‍ය දිස්ත්‍රික්ක (local health districts) වලට ලබාදුන්නද නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ සෞඛ්‍ය දේපාර්තුමේන්තුව මගින් ක්‍රියාත්මක කරන ප්‍රතිපත්ති සමග ඒවා වැඩිදුරටත් පැහැදිලි කල යුතු බව ආචාර්ය Rakime ගේ මතයයි.
නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ රෝහල් තුල හිජාබය නිල ඇදුමට අයත් නොවුනද ලියාපදිංචි වී ඇති හෙද සේවිකාවන්ට නිල ඇදුම හා ගැළපෙන වර්ණයක එකක් පැලදීමට හැකියි.
මෙවැනි ධනාත්මක පියවරවල් ගෙන තිබුනද ආචාර්ය Rakime පවසනුයේ තවදුරටත් ආගමික හා සංස්කෘතික දැනුවත් කිරීම් අවශ්‍ය බවයි.
සමහර ආයතන මගින් තවමත් සිසුවියන්ගෙන් වැලමිට තෙක් තමන්ගේ ඇඳුමෙහි අත් නැවීම අනිවාර්ය කිරීම ආදිය නිසා සිසුන් තවමත් සායනික පුහුණු වලදී ඍණාත්මක අත්දැකීම් වලට මුහුණ දෙන බව ඇය පවසයි.
සංස්කෘතිකමය වශයෙන් සංවේදී සායනික පුහුණු පරිසරයක් ඇතිකිරීමට දිගු ගමනක් ඉතිරිව ඇති බවද ආචාර්ය Rakime පැවසුවාය.

Source: SBS Sinhala