ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය තමන් නම් කරනු ලබන ත්‍රස්තවාදී කණ්ඩායම් ලැයිස්තුවට තවත් කණ්ඩායම් දෙකක් එකතු කරයි.
ඒ අනුව නව-නාසි කණ්ඩායමක් වන The Base සහ හිස්බුල්ලා සංවිධානය, ත්‍රස්තවාදී කණ්ඩායම් ලෙස ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් නම් කර තිබේ.
Highlights
- The Base නමැති නව-නාසි කණ්ඩායම සහ හිස්බුල්ලා සංවිධානය ත්‍රස්තවාදී කණ්ඩායම් ලෙස ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය නම් කර තිබේ.
- සුදු ජාතික ආධිපත්‍යවාදී කණ්ඩායමක් වන The Base හි පදනම උතුරු ඇමරිකාවේ පිහිටා ඇත.
- ඊයේ වන තෙක් ඔස්ට්‍රේලියාව සිය ත්‍රස්තවාදී ලැයිස්තුවේ ලැයිස්තුගත කර ඇත්තේ හිස්බුල්ලා කණ්ඩායමේ බාහිර ආරක්ෂක සංවිධානය පමණක් වන නමුත් ඊයේ දිනයේදී සමස්ත හිස්බුල්ලා සංවිධානයම ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කළේය.
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ත්‍රස්ත ලැයිස්තුවට තවත් කණ්ඩායම් දෙකක්
ලෝකයේ ක්‍රියාත්මක වන දක්ෂිණාංශික අන්තවාදී කණ්ඩායම් සහ විවිධ ත්‍රස්ත ක්‍රියා සිදුකරන කණ්ඩායම් පිළිබඳ පසුගිය සමයේ පටන් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සූක්ෂම ලෙස විමර්ශනය කරමින් සිටී.
එහි ප්‍රතිඵලයක් ලෙස The Base නමැති නව-නාසි කණ්ඩායම සහ කුප්‍රසිද්ධ හිස්බුල්ලා සංවිධානය ත්‍රස්තවාදී කණ්ඩායම් ලෙස ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් නම් කෙරිණි.
මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිනී Karen Andrews විසින් මේ බව ඊයේ (24/11) දැනුම් නිල වශයෙන් නිවේදනය කළාය.
"ඔවුන්ගේ වෛරී මතවාදයන්ට ඔස්ට්‍රේලියාවේ කිසිදු තැනක් නැහැ." යනුවෙන් ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිනී Karen Andrews පැවසුවාය.
ඔස්ට්‍රේලියාවට හානියක් කිරීමේ චේතනාවෙන් සිටින පුද්ගලයින් ඔස්ට්‍රේලියාවේ සිටින බවද ඇය අවධාරණය කළාය.

Home Affairs Minister Karen Andrews speaks to the media. Source: AAP
The Base නව-නාසි කණ්ඩායම
The Base කණ්ඩායම ප්‍රචණ්ඩ සහ ජාතිවාදී කණ්ඩායමක් ලෙස ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විස්තර කර තිබේ.
ත්‍රස්තවාදී ප්‍රහාර සැලසුම් කිරීම සහ සූදානම් කිරීම මෙම කණ්ඩායම විසින් සිදුකරන බව ආරක්ෂක ආයතන දන්නා කරුණකි.
සුදු ජාතික ආධිපත්‍යවාදී කණ්ඩායමක් වන මෙහි පදනම උතුරු ඇමරිකාවේ පිහිටා ඇති අතර ඔවුන් සතුව විදේශයන්හි paramilitary පුහුණු කඳවුරු ඇති බවද වාර්තා වේ.
කැනඩාව සහ බ්‍රිතාන්‍යය විසින් ද The Base කණ්ඩායම ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස තහනම් කර ඇත.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
ඔස්ට්‍රේලියාව තුළ මෙම කණ්ඩායමේ ක්‍රියාකාරකම් පිළිබඳ තමන් අවධානය යොමු කළ බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිනී Karen Andrews පැවසුවාය.
ඔස්ට්‍රේලියාවේ සහ විදේශයන්හි ඔවුන්ගේ ක්‍රියාකාරකම් පිළිබඳව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය දැනුවත්ව සිටින අතර ඒවා නොකඩවා නිරීක්ෂණය කරගෙන යන බවද ඇය සඳහන් කළාය.
ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ලැයිස්තුගත කරන ලද දෙවන දක්ෂිණාංශික අන්තවාදී සංවිධානය ලෙසද මෙය හැඳින්වේ.
මේ වසරේ මාර්තු මාසයේදී Sonnenkrieg Division නමැති දක්ෂිණාංශික අන්තවාදී සංවිධානය ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කළේය.
ඔස්ට්‍රේලියානුවන්ට හානියක් කිරීමට තර්ජනය කරන ඕනෑම සංවිධානයක් තහනම් කිරීමට තමන් ඉතා විවෘත බවද ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිනී Karen Andrews පැවසුවාය.
The Base කණ්ඩායම ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කිරීම අගයන නමුත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය අනෙකුත් දක්ෂිණාංශික අන්තවාදී කණ්ඩායම් තහනම් කිරීමට ඉක්මන් නොවන්නේ මන්දැයි ස්වදේශ කටයුතු පිළිබඳ කම්කරු පක්ෂයේ නියෝජිතවරිය වන Kristina Keneally ප්‍රශ්න කර සිටියාය.
හිස්බුල්ලා සංවිධානය
හිස්බුල්ලා සංවිධානය ලෙබනනයේ පිහිටා ඇති අතර ඉරානය සහ සිරියාව සමඟ සන්ධාන පිහිටුවා ඇති ෂියා ඉස්ලාමීය දේශපාලන පක්ෂයක් සහ සටන්කාමී කණ්ඩායමක් ලෙස ක්‍රියා කරයි.
හිස්බුල්ලා සංවිධානයේ ජාත්‍යන්තර ජාලය ප්‍රමාණයෙන් සහ බලපෑමෙන් පුළුල් වන නමුත් සෘජු ගැටුම් වලට වඩා රහසිගත මෙහෙයුම් වලට ඔවුන් වැඩි කැමැත්තක් දක්වන බව ආරක්ෂක විශේෂඥයින් අනතුරු අඟවා ඇත.
ඊයේ (24/11) වන තෙක් ඔස්ට්‍රේලියාව සිය ත්‍රස්තවාදී ලැයිස්තුවේ ලැයිස්තුගත කර ඇත්තේ හිස්බුල්ලා කණ්ඩායමේ බාහිර ආරක්ෂක සංවිධානය (ESO) පමණක් වන අතර, එහි හමුදා සහ දේශපාලන අංශ නිදහස් කර තිබේ.
නමුත් ඊයේ දිනයේදී සමස්ත හිස්බුල්ලා සංවිධානයම ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් නම් කළේය.
හිස්බුල්ලා සංවිධානය ත්‍රස්තවාදී ප්‍රහාරවලට උපකාර කරන බවත් ත්‍රස්තවාදී සංවිධානවලට සහාය ලබා දෙන බවත් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු පිළිබඳ ඇමතිනී Karen Andrews පැවසුවාය.
ඇමෙරිකා එක්සත් ජනපදය, බ්‍රිතාන්‍යය, කැනඩාව සහ ඊශ්‍රායලය ඇතුළු රටවල් කිහිපයක් විසින් හිස්බුල්ලා සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කර ඇත.
හිස්බුල්ලා සංවිධානය ත්‍රස්ත සංවිධානයක් ලෙස ලැයිස්තුගත කිරීමට ගත් තීරණය කිසිසේත්ම ඔස්ට්‍රේලියාව සහ ලෙබනනය අතර ද්විපාර්ශ්වික සබඳතාවයට ගැටළුවක් නොවන බව ලිබරල් පක්ෂයේ සෙනට් සභික James Paterson පැවසුවේය.
ත්‍රස්තවාදී කණ්ඩායම් ලෙස ඔස්ට්‍රේලියාව මේ වන විට විධිමත් ලෙස ලැයිස්තුගත කර ඇති සංවිධාන සංඛ්‍යාව 26 කි.
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට අනුව රටේ ත්‍රස්ත තර්ජන මට්ටම "probable" හෙවත් "විය හැකි" මට්ටමක පවතී.