ඔස්ට්‍රේලියාවට බාරගන්නා ස්ථිර සංක්‍රමණිකයින් සංඛ්‍යාව වසරකට 160,000 දක්වා ඉහළ යනු ඇති බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg මේ බව සඳහන් කළේය.
Highlights
- ඉදිරි වසර දෙක තුළ ඔස්ට්‍රේලියාවට පැමිණෙන විදේශ සංක්‍රමණය 120,000 කින් වැඩි වනු ඇතැයි මධ්‍යම රජය අපේක්ෂා කළේය.
- පසුගිය වසරේ ඔස්ට්‍රේලියාවේ ශුද්ධ විදේශ සංක්‍රමණය ප්‍රථම වරට සෘණ මට්ටමක් දක්වා පහත වැටුණි.
- කොවිඩ් වසංගතය නිසා ඔස්ට්‍රේලියාවේ දේශ සීමා වසා දැමීම මෙයට ප්‍රධානතම හේතුව විය.
ඔස්ට්‍රේලියාවට බාරගන්නා ස්ථිර සංක්‍රමණිකයින් සංඛ්‍යාව ඉහළට
කොවිඩ් වසංගතය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ කඩා වැටුණු ආර්ථිකය යළි ගොඩනැගීමට සහ ඇතිවී ඇති පුහුණු ශ්‍රම හිඟයට ප්‍රතිචාර දැක්වීම ලෙස ඔස්ට්‍රේලියාවට වාර්ෂිකව බාරගන්නා ස්ථිර සංක්‍රමණිකයින් සංඛ්‍යාව ඉහළ යනු ඇතැයි ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය පවසයි.
මේ බව ලබන බ්‍රහස්පතින්දා එළිදැක්වීමට නියමිත ඔස්ට්‍රේලියාවේ වසර මැද ආර්ථික සහ මූල්‍ය කටයුතුවල ඉදිරි දැක්ම (MYEFO) ප්‍රකාශයට පත් කිරීමට පෙර ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg විසින් සඳහන් කළේය.
මෙම ලිපිය SBS සිංහල ගුවන් විදුලිය සතුවන ලිපියක් වන බැවින් මෙහි ඇති තොරතුරු හෝ කොටස් පිටපත් කරගැනීමේදී හෝ උපුටා ගැනීමේදී හෝ SBS සිංහල ගුවන් විදුලිය වෙත කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.
පසුගිය මැයි මාසයේ ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ අයවැයෙන් පුරෝකථනය කළ පරිදි ඉදිරි වසර දෙක තුළ ඔස්ට්‍රේලියාවට පැමිණෙන විදේශ සංක්‍රමණය 120,000 කින් වැඩි වනු ඇතැයි මධ්‍යම රජය අපේක්ෂා කළේය.
කොවිඩ් වසංගතයෙන් පීඩා විඳ යථා තත්ත්වයට පත්වන විට ඔස්ට්‍රේලියානු ආර්ථිකය නංවාලීම සඳහා අතිරේක සංක්‍රමණිකයන් උපකාරී වනු ඇතැයි භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg, The Australian පුවත්පතට පැවසීය.
ලෝකයේ ඉහළම කොවිඩ් එන්නත්කරණ අනුපාතයක් සමග ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර දේශසීමා මධ්‍යම රජයේ අයවැයෙන් බලාපොරොත්තු වූවාට වඩා මාස හයකට පමණ පෙර විවෘත කිරීමට හැකිවූ අතර සංක්‍රමණිකයින් බාරගැනීමේ තියුණු පෙරළියකට එය තුඩු දෙන බවද ඔහු පැවසීය.
"අයවැයෙන් බලාපොරොත්තු වූවාට වඩා ඉදිරි වසර දෙක තුළ අතිරේක සංක්‍රමණිකයන් 120,000ක් අපේක්ෂා කරන බව ඔස්ට්‍රේලියාවේ වසර මැද ආර්ථික සහ මූල්‍ය කටයුතුවල ඉදිරි දැක්මෙන් පෙන්නුම් කෙරෙන අතර එය ඔස්ට්‍රේලියාවේ ආර්ථිකය යළි ගොඩනැංවීම සඳහා ශක්තිමත් ආර්ථික ක්‍රියාකාරකම්වලට සහාය වනු ඇත." යනුවෙන්ද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg වැඩිදුරටත් සඳහන් කළේය.

Josh Frydenberg is preparing to hand down the Mid-Year Economic and Fiscal Outlook (MYEFO) on Thursday. Source: AAP
පසුගිය වසරේ ඔස්ට්‍රේලියාවේ ශුද්ධ විදේශ සංක්‍රමණය පහතට
පසුගිය වසරේ ඔස්ට්‍රේලියාවේ ශුද්ධ විදේශ සංක්‍රමණය ප්‍රථම වරට සෘණ මට්ටමක් දක්වා පහත වැටුණි.
එවැනි සිදුවීමක් වාර්තා වූයේ දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව වීම සුවිශේෂී සිදුවීමකි.
ඔස්ට්‍රේලියාවට පැමිණෙන සංක්‍රමණිකයන්ට වඩා ඔස්ට්‍රේලියාවෙන් පිටව ගිය සංක්‍රමණිකයන් ප්‍රමාණය වැඩි වීම ඊට බලපෑවේය.
කොවිඩ් වසංගතය නිසා ඔස්ට්‍රේලියාවේ දේශ සීමා වසා දැමීම මෙයට ප්‍රධානතම හේතුව විය.
පසුගිය මැයි මාසයේ අයවැයට අනුව 2021-22 මූල්‍ය වර්ෂය සඳහා ඔස්ට්‍රේලියාවේ ශුද්ධ විදේශ සංක්‍රමණය 77,000 කින් පමණ අඩු වනු ඇතැයි අපේක්ෂා කරන ලදී.
නමුත් එය 41,000 ක් දක්වා සංශෝධනය කෙරුණි.
2022-23 මූල්‍ය වර්ෂය සඳහා වන ශුද්ධ විදේශ සංක්‍රමණය ද සංශෝධනය කෙරෙනු ඇති බව වාර්තා වේ.
ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඉක්මනින් දැනගන්න පිවිසෙන්න
- SBS සිංහල Facebook පිටුවට
- SBS සිංහල වෙබ් අඩවියෙන්
- SBS Radio APP එකෙන් (Free)
2021/22 වසර සඳහා ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික කෝටාව
2021/22 වසර සඳහාද ඔස්ට්‍රේලියාවේ සම්පූර්ණ සංක්‍රමණික කෝටාව Skill, Family සහ Child යන ඛාණ්ඩ 3 කට බෙදා තිබේ.
මෙවර ඔස්ට්‍රේලියාවේ සම්පූර්ණ සංක්‍රමණික කෝටාව පහත අන්දමින් බෙදා දැක්වීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය කටයුතු යොදා ඇත.

Source: Department of Home Affairs