නවතම Times Higher Education (THE) ලෝක ශ්‍රේණිගත කිරීම් වලට අනුව ලොව හොඳම විශ්ව විද්‍යාල 100 අතරට ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල 6ක් තේරී ඇති බව වාර්තා වේ.
ඒ අනුව මෙල්බන් විශ්ව විද්‍යාලය මෙම දර්ශකයේ 33වන ස්ථානයට පත්ව ඇති අතර ඔස්ට්‍රේලියානු ජාතික විශ්ව විද්‍යාලය 47 වන ස්ථානය හිමි කරගැනීමට සමත් වී සිටියි. ක්වීන්ස්ලන්ත විශ්ව විද්‍යාලය සහ සිඩ්නි විශ්ව විද්‍යාලය දර්ශකයේ 60 වන ස්ථානයේ පසුවන විට මෙල්බන්හි Monash විශ්ව විද්‍යාලය 74 වන ස්ථානය හිමි කරගෙන ඇත. නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලය දර්ශකයේ 78 වන ස්ථානය හිමි කරගෙන තිබේ. මෙම සියලු විශ්ව විද්‍යාල 2015 වසරට සාපේක්ෂව ස්ථාන කිහිපයකින්ම ඉහලට පැමිණ ඇති බවද වාර්තා වේ.
එංගලන්තයේ Oxford විශ්ව විද්‍යාලය මෙවර Times Higher Education දර්ශකයේ ප්‍රථම ස්ථානය හිමි කරගෙන සිටින අතර ඇමෙරිකාවේ California Institute of Technology ආයතනය දෙවන තැන හිමි කරගැනීමට සමත්ව සිටියි. Stanford, Cambridge විශ්ව විද්‍යාල සහ Massachusetts Institute of Technology ආයතනය පිළිවෙලින් තෙවන, සිව්වන සහ පස්වන ස්ථාන හිමි කරගෙන ඇත.
වාර්ෂිකව සකසනු ලබන මෙම දර්ශකය සඳහා විශ්ව විද්‍යාල 980ක් ශ්‍රේණිගත කර ඇති අතර ඉගැන්වීම, ජාත්‍යන්තර ස්වභාවය, පර්යේෂණ, උපුටා දැක්වීම් සහ කර්මාන්ත ආදායම් යන අංශ හරහා ඒවායේ ඇගයීම් සිදු කර තිබේ.
මෙවර දර්ශකයේ ලොව හොඳම විශ්ව විද්‍යාල 200 අතරට ඇමෙරිකා එක්සත් ජනපදයේ විශ්ව විද්‍යාල 63ක්ද එක්සත් රාජධානියේ විශ්ව විද්‍යාල 32ක්ද ඔස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල 8ක්ද ඇතුලත්ය.
“ සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවේ ප්රමුඛ පෙළේ විශ්ව විද්‍යාල වැදගත් පර්යේෂණ වල නිරත වී ඒවා ලොවට බෙදා දෙනවා. එමගින් ජාත්‍යන්තරව ඔවුන්ගේ හැකියාවන් පෙන්වා ලෝකයත් සමග සහයෝගයෙන් කටයුතු කිරීමට උනන්දු වෙනවා.” Times Higher Education දර්ශකයේ කර්තෘ Phil Baty පැවසීය.
මෙවර දර්ශකය තුළ ඕස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල 24ක් තම පැරණි ස්ථාන වලින් ස්ථාන කිහිපයක් ඉහලට ඇති බවද අනෙක්වා තිබූ ස්ථානවලම රැදී තිබෙන බවද තවත් විශ්ව විද්‍යාල 4ක් පළමු වරට දර්ශකයට ඇතුළත්ව ඇති බවද වාර්තා වේ. 

The University of Melbourne Source: Wikipedia
ආසියාවේ විශ්ව විද්‍යාලවල පුනරුදයක්
2016 දර්ශකයට අනුව ආසියානු විශ්ව විද්‍යාලවල කැපී පෙනෙන වර්ධනයක් පෙන්නුම් කරන බවත් ඒ හේතුවෙන් ඔස්ට්‍රේලියාව ප්‍රවේශම් විය යුතු බවත් Phil Baty පැවසීය.
මෙවර දර්ශකය තුළ ආසියානු කලාපයේ හොඳම විශ්ව විද්‍යාලය බවට පත්ව ඇත්තේ සිංගප්පුරුවේ ජාතික විශ්ව විද්‍යාලය වන අතර එය 24 වන ස්ථානය හිමි කරගෙන තිබේ.
ලොව මීළඟ හොඳම අධ්‍යාපනික කලාපය බවට පත්වන්නේ ආසියානු කලාපය යනුවෙන් මෙම දත්ත පෙන්නුම් කරන බව Times Higher Education දර්ශකයේ කර්තෘ Phil Baty පැවසීය.
ලොව හොඳම විශ්ව විද්‍යාල අතර ඔස්ට්‍රේලියානු විශ්ව විද්‍යාල දිගු කලක් පැවතීම සහතික කරන්නට අපහසු බවද ඒ අතර ආසියානු විශ්ව විද්‍යාල කලාපයේ අනෙක් විශ්ව විද්‍යාල පරයා ඉදිරියට පැමිණෙන බවද ඔහු වැඩි දුරටත් පැවසීය.