ඔස්ට්‍රේලියාවේ මෙල්බරන්, පර්ත් සහ ඩාර්වින් යන ප්‍රධාන නගර හැරුණුකොට අනෙක් සියලු ප්‍රධාන නගර වල නිවාස කුලිය වාර්තාගත ලෙස ඉහළ ගොස් තිබේ.
ඔස්ට්‍රේලියාවේ නිවාස හා දේපළ වෙළෙඳ පොළ පිළිබඳ කටයුතු කරන ප්‍රමුඛ පෙළේ වෙබ් අඩවියක් වන Domain හි නවතම වාර්තාවක් මේ බව අනාවරණය කර ඇත.
Highlights
- කුලී නිවැසියන් සඳහා ඔස්ට්‍රේලියාවේ ලාභම නගරය බවට මෙල්බර්න් පත්වන ලකුණු.
- ඔස්ට්‍රේලියාවේ ඉහළම නිවාස කුලිය හිමි නගරය බවට කැන්බරා පත්වෙයි.
- ඔස්ට්‍රේලියාවේ අඩුම නිවාස කුලියක් සහිත ප්‍රධාන නගරය බවට ඇඩිලේඩ් නුවර පත්වී ඇත.
ඔස්ට්‍රේලියාවේ කුලී නිවාස පිළිබඳ නවතම වාර්තාව
ඉතිහාසයේ ප්‍රථම වරට ඔස්ට්‍රේලියාවේ දැරිය හැකි නිවාස කුලියක් සහිත නගර අතරින් මෙල්බර්න් නුවර දෙවැනි තැනට පත්වී තිබේ.
Domain හි නවතම වාර්තාවට අනුව මෙල්බර්න් නුවරත් සමග පර්ත් නුවර දෙවැනි ස්ථානයේ සම තැන ගෙන සිටී.
මෙම නවතම වාර්තාවට අනුව ඔස්ට්‍රේලියාවේ අඩුම නිවාස කුලියක් සහිත ප්‍රධාන නගරය බවට ඇඩිලේඩ් නුවර පත්වී ඇත.
කෙසේවෙතත්, වර්තමාන ප්‍රවණතාව දිගටම පැවතුනහොත් නිවසක් සහ Unit එකක් කුලියට ගැනීමේදී වඩාත්ම දැරිය හැකි නගරය බවට මේ වසරේදී මෙල්බර්න් නුවර පත්විය හැකිය.
Unit වලට වඩා නිවාස සඳහා ජනතාවගේ කැමැත්තෙහි සැලකිය යුතු වෙනසක් වෙමින් පවතින බව මෙම වාර්තාව පෙන්වා දෙයි.

Source: AAP
බ්‍රිස්බේන් නුවර නිවාස කුලිය වාර්තාගත ලෙස ඉහළට
ඔස්ට්‍රේලියානු මෑත පස්වසරක ඉතිහාසයේ මෙල්බර්න් නුවරට වඩා නිවසක් හෝ unit එකක කුලී මුදල මෙල්බර්න් නුවරට වඩා බ්‍රිස්බේන් නුවර ඉහළ ගොස් තිබේ.
වසර 2008 සිට බ්‍රිස්බේන් නුවර නිවාස කුලිය වාර්ෂික වැඩිවීමක් පෙන්නුම් කරයි.
මේ වන විට බ්‍රිස්බේන් නුවර නිවසක කුලිය සතියකට $440 ක් වන අතර එය පසුගිය වසරට වඩා ඩොලර් 30 ක වැඩිවීමකි.
එමෙන්ම බ්‍රිස්බේන් නුවර unit එකක කුලිය සතියකට $400 ක් වන අතර එය පසුගිය වසරට වඩා ඩොලර් 15 ක වැඩිවීමකි.
ඔස්ට්‍රේලියාවේ ඉහළම නිවාස කුලිය හිමි නගරය බවට කැන්බරා පත්වෙයි
නිවසක හෝ unit එකක හෝ ඔස්ට්‍රේලියාවේ ඉහළම කුලී මුදල වාර්තා වන්නේ කැන්බරා නුවරිනි.
සාමාන්‍ය වශයෙන් එහි නිවසක කුලිය සතියකට $600 ක් වන අතර unit එකක කුලිය සතියකට $500 කි.
සිඩ්නි නුවරට සාපේක්ෂව කැන්බරාවල නිවසක කුලිය සතියකට $50 කින් වැඩි අතර unit එකක කුලිය සතියකට $30 කින් වැඩිය.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
කුලී නිවැසියන් සඳහා ඔස්ට්‍රේලියාවේ ලාභම නගරය බවට මෙල්බර්න් පත්විය හැකියි
කුලී නිවැසියන් සඳහා ඔස්ට්‍රේලියාවේ ලාභම නගරය බවට මෙල්බර්න් පත්විය හැකි බව මෙම නවතම වාර්තාව පෙන්වා දෙයි.
මෙල්බර්න් නුවර කුලී නිවාස වෙළෙඳපොළේ තත්ත්වය ක්‍රමිකව දුර්වල වන බව එම වාර්තාව අනාවරණය කරයි.
මේ වන විට මෙල්බර්න් නුවර නිවසක කුලිය සාමාන්‍ය අගයක් ලෙස සතියකට $430 ක් වන නමුත් එය පසුගිය වසරට සාපේක්ෂව $10 ක පහත යාමකි.
කෙසේ වෙතත්, කුලී නිවාස වෙළෙඳපොළේ තත්ත්වය ඒකාකාරී නොවේ.
මෙල්බර්න් හි නැගෙනහිර, ගිනිකොණ දිග සහ Mornington Peninsula යන කලාප වල නිවාස කුලිය සැලකිය යුතු වර්ධනයක් පෙන්වයි.
මේ වන විට මෙල්බර්න් නුවර Unit එකක කුලිය සාමාන්‍ය අගයක් ලෙස සතියකට $375 ක් වන නමුත් එය පසුගිය වසරට සාපේක්ෂව $10 ක පහත යාමකි.
ඒ අනුව මේ වන විට මෙල්බර්න් නුවර Unit එකක කුලිය 2015 වසරේ පැවති අගයට සමාන අගයක් ගනී.

Source: AAP
බොහෝ ප්‍රධාන නගර වලට සාපේක්ෂව පර්ත් හි නිවාස කුලිය වැඩිවේ
ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රධාන නගර වලට සාපේක්ෂව පර්ත් හි නිවාස කුලිය වැඩිවී තිබේ.
පසුගිය හය වසරකට සාපේක්ෂව මේ වන විට පර්ත් නුවර නිවාස කුලිය ඉහළතම මට්ටමකට පැමිණ ඇත.
පසුගිය වසර තුළ පර්ත් නුවර නිවසක කුලිය 14.7% කින් ඉහළ ගොස් ඇති අතර මේ වන විට එය සතියකට $430 මට්ටමේ පවතියි.
එමෙන්ම පර්ත් නුවර unit එකක කුලිය 14.1% කින් ඉහළ ගොස් ඇති අතර මේ වන විට එය සතියකට $365 මට්ටමේ පවතියි.
ඒ අනුව පර්ත් හි නිවාස කුලී දැන් මෙල්බර්න් වලට සමානය.
සිඩ්නි කුලී නිවාස වෙළෙඳපොල යළි ස්ථාවර වෙයි
වසර 2021 දී සිඩ්නි කුලී නිවාස වෙළෙඳපොල යළි ස්ථාවර වන බවක් පෙන්නුම් කරයි.
ඒ අනුව 2021 මාර්තු කාර්තුව වන විට සිඩ්නි නුවර නිවසක හා unit එකක කුලිය ස්ථාවරව පවතියි.
නවතම වාර්තාවට අනුව සිඩ්නි නුවර unit එකක කුලිය සාමාන්‍ය වශයෙන් සතියකට $470 ක් වන අතර නිවසක කුලිය සාමාන්‍ය වශයෙන් සතියකට $550 ක් ලෙස සඳහන්.

Source: AAP Image/Sergi Reboredo/Sipa USA
හෝබාර්ට් නුවර නිවාස කුලිය වාර්තාගත ලෙස ඉහළ මට්ටමකට
හෝබාර්ට් නුවර නිවාස කුලිය වාර්තාගත ලෙස ඉහළ මට්ටමකට පැමිණ ඇති බව පෙන්වයි.
ටස්මේනියා ප්‍රාන්තයේ හෝබාර්ට් නුවර නිවසක කුලිය සතියකට සාමාන්‍ය වශයෙන් $480 ක් වන අතර Unit එකක කුලිය සතියකට සාමාන්‍ය වශයෙන් $420 ක් වන බව වාර්තා වේ.
හොබාර්ට් නුවර කුලී නිවාස වෙළඳපොළ ක්‍රියාකාරිත්වය ස්ථානය අනුව වෙනස් වේ.
ඇඩිලේඩ් හි නිවාස කුලීය වාර්තාගත ඉහළ මට්ටමකට, නමුත් දැරිය හැකියි
ඇඩිලේඩ් හි නිවාස කුලීය වාර්තාගත ඉහළ මට්ටමක පවතින නමුත් තවමත් ඔස්ට්‍රේලියාවේ වඩාත්ම දැරිය හැකි නිවාස කුලියක් සහිත ප්‍රධාන නගරය බවට ඇඩිලේඩ් පත්ව තිබේ.
ඇඩිලේඩ් නුවර නිවසක කුලිය සතියකට සාමාන්‍ය වශයෙන් $425 ක් වන අතර එය පසුගිය වසරට සාපේක්ෂව සතියකට $15 ක වැඩිවීමකි.
ඇඩිලේඩ් නුවර unit එකක කුලිය සතියකට සාමාන්‍ය වශයෙන් $350 ක් වන අතර එය පසුගිය වසරට සාපේක්ෂව සතියකට $10 ක වැඩිවීමකි.