ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමි සංක්‍රමණික පුද්ගලයන්ගේ දෙමාපියන් සඳහා වසරකට ඩොලර් බිලියන 3.2ක් වැයවන බවත් ඒ හේතුවෙන් සංක්‍රමණික පුද්ගලයන්ගේ දෙමාපිය වීසා අහෝසි කරන ලෙස හෝ එහි වීසා ගාස්තු ඉහළ දැමිය යුතුයැයි සැප්තැම්බර් 12 වන දින එළි දැක්වූ “Productivity Commission report” හෙවත් “එලදායිතා කොමිසම් වාර්තාව” පෙන්වා දෙයි.
ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය හිමි සංක්‍රමණික පුද්ගලයන්ගේ දෙමාපිය වීසා අතිශය සීමාන්තික කරුණු මත හෝ සානුකම්පිත කරුණු මත හෝ පමණක් ලබා දිය යුතු බවත් අනෙක් ඉල්ලුම් කරුවන් හට තාවකාලික දෙමාපිය වීසා ලබා දිය යුතු බවත් එම වාර්තාව පෙන්වා දෙයි. එමගින් දෙමාපියන්ගේ සෞඛ්‍යය සහ සුබ සාධන කටයුතු සඳහා වැයවන වියදම් තම දරුවන් විසින් දැරිය යුතු බවද එම වාර්තාව වැඩි දුරටත් පෙන්වා දෙයි.
වයස අවුරදු 25 දි පමණ ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වන පුද්ගලයන් මෙරට ආර්ථිකයට සැලකිය යුතු දායකත්වයක් ලබා දෙන අතර වයස අවුරුදු 40 දක්වා Skilled වීසා යටතේ පැමිණෙන පුද්ගලයන් ද ආර්ථික වර්ධනයට ප්‍රභල පිටිවහලක් සපයන බවද සඳහන්. නමුත් ඔවුන්ගේ දෙමාපියන් ඔස්ට්‍රේලියානු ආර්ථිකයට සැලකිය යුතු වියදමක් එක් කරන බවද අනාවරණය වී තිබේ.
ස්ථිර පදිංචිය හිමි සංක්‍රමණික පුද්ගලයන්ගේ දෙමාපිය වීසා ප්‍රධාන වශයෙන් ආකාර දෙකකින් ක්‍රියාත්මකය. එක් වීසා ආකාරයක් සඳහා ඩොලර් 7000ක් වැනි අඩු මුදලක් අය කරන නමුත් ස්ථිර පදිංචි වීසා ඔවුන් හට ලබාගැනීම සඳහා වසර 30 ක් හෝ ඊට වැඩි කාලයක් බලා සිටිය යුතු වෙයි. අනෙක් වීසා ආකාරය පළමු ආකාරයට වඩා ඉක්මනින් හිමිවන නමුත් ඒ සඳහා ඩොලර් 47,000ක් වැනි අධික මුදලක් දැරීමට සිදු වේ.
කෙසේ නමුත් එම වීසා ගාස්තු වලින් අදාළ දෙමාපියන්ගේ වියදම් මුළුමනින්ම ආවරණය කිරීමට ඔස්ට්‍රේලියානු රජයට අපහසු බව “එලදායිතා කොමිසම් වාර්තාව” පෙන්වා දෙයි. සෞඛ්‍යය, සුබ සාධන කටයුතු සහ වැඩහිටි සුරැකුම් යන පහසුකම් සඳහා වසරකට එක් වැඩිහිටියෙක් සඳහා ඩොලර් 335,000 ත් 410,000ත් අතර මුදලක් වැය වන බව එම වාර්තාව අනාවරණය කරයි.
ඉහත ආකාර දෙකෙන්ම වසරකට ස්ථිර පදිංචිය හිමි සංක්‍රමණික පුද්ගලයන්ගේ දෙමාපියන් 8700ක් පමණ ඔස්ට්‍රේලියාවට පැමිණෙන අතර ඒ සියලු දෙනා සඳහා පූර්ණ වියදම ඩොලර් බිලියන් 2.6ත් 3.2ත් අතර වන බවද සඳහන්.
මේ අනුව වාර්ෂිකව ඔස්ට්‍රේලියානු බදු ගෙවන්නන් හට එක් වන බැරකම් හෙවත් ණයබර වැඩි වෙන බවත් සාපේක්ෂව කුඩා කණ්ඩායම් සඳහා මෙය දැරීමට අපහසු බවත් කොමිසම් වාර්තාව පවසයි.
ඔස්ට්‍රේලියානු සංක්‍රමණිකයන්ගේ ප්‍රමාණය පසු ගිය වසර 15 ඇතුළත 23% සිට 28% දක්වා ඉහළ ගොස් ඇති අතර එම සංඛ්‍යාවෙන් 21%ක ප්‍රතිශතයකට අවම වශයෙන් විදෙස් රටක උපත ලබා මෙහි වාසය කරන දෙමාපියෙක් සිටින බව ද අනාවරණය වී තිබේ.

Source: Productivity Commission report
ජනගහන වර්ධන වේගයටද බලපෑමක්
ඔස්ට්‍රේලියාවට වාර්ෂිකව පැමිණෙන සංක්‍රණික පිරිස් මෙරට ජනගහන වර්ධන වේගයටද ප්‍රභල බලපෑමක් එල්ල කරන බව “එලදායිතා කොමිසම් වාර්තාව” පෙන්වා දෙයි. එම වාර්තාවට අනුව සංක්‍රමණික පිරිස් පැමිණීමේ ප්‍රමාණය (වේගය) පසුගිය දශකය තුළ ක්‍රියාත්මක වූ ලෙස 1% පැවතියහොත් 2060 වසරේදී මෙරට ජනගහනය මිලියන 50 පමණ දක්වා දෙගුණ වෙයි. නමුත් සංක්‍රමණික පිරිස් පැමිණීමේ ප්‍රමාණය (වේගය) 0.6%ක් දක්වා පහත හෙළියහොත් 2060 වන විට ඔස්ට්‍රේලියානු ජනගහනය මිලියන 40ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කරයි.
ඔස්ට්‍රේලියාවේ අදාළ ක්ෂේත්‍ර වල නිපුණතා හිඟතාවය හා පවුල් එකට එක්වීම මූලික කරගනිමින් සංක්‍රමණික දෙපාර්තමේන්තුව විසින් වාර්ෂිකව ස්ථිර පදිංචිය පිරිනමන සංඛ්‍යාව තීරණය කරනු ලබයි.
ඒ අනුව මෙරට ජනගහන වර්ධනය උදෙසා රජයේ දීර්ග කාලීන ඉලක්ක සපුරාගැනීමට ජනගහන ප්‍රතිපත්තියක් නිළ වශයෙන් ස්ථාපනය කළ යුතු බවත් ස්ථිර සහ තාවකාලික වීසා පදනම මත සිටින පිරිස් ආර්ථිකයට, පරිසරයට හා සමාජයට ඇති ඒකාබද්ධතාව ද එහි ඇතුලත් විය යුතු බවත් එම වාර්තාව පෙන්වා වැඩි දුරටත් පෙන්වා දෙයි.
එම ප්‍රතිපත්ති වසර 5කට වරක් සමාලෝචනය කලයුතු බවත් “එලදායිතා කොමිසම් වාර්තාව” පෙන්වා දෙයි.