

This article is more than 2 years old
ආසියාවේ ජෛව විවිධත්වයට කල මෙහෙයට, ලොවින් පිදුම් ලැබූ පළමු ලාංකිකයා රොහාන් පෙතියාගොඩ : SBS සිංහල විශේෂාංග
19 වැනි සියවසේ ලන්ඩනයේ පිහිටුවන ලද Linnean සංගමය මගින් වාර්ෂිකව ලොව පරිසරවේදීන් සඳහා ලබාදෙන Linnean පදක්කමෙන් පිදුම් ලැබූ ආසියාවේ දෙවැනි සහ ලංකාවේ පළමුවැනි ජෛව විවිධත්ව විද්‍යාඥයා වන ආචාර්ය රොහාන් පෙතියාගොඩ සමග SBS සිංහල සේවය සිදු කල සාකච්චාවක් ඇසුරින් මෙම ලිපිය සැකසේ.
Published 13 October 2022 6:28am
Updated 16 October 2022 6:04pm
By Nipuna Dodangoda
Source: SBS
Image: Supplied by Dr Rohan Pethiyagoda / Examines fish specimens In a laboratory (Kesara Ratnavibhushana/©Rolex/Kesara Ratnavibhushana)
ලොව ශීග්‍රයෙන් සිදු වන කර්මිකරණයත් සමග ජෛව විවිධත්වය සම්බන්ධයෙන් වන අවධානය සඳහා විවිධ බලපෑම් එල්ල වීම නිරායාසයෙන්ම සිදු වේ. කෙසේ නමුත් පසුගියදා, ඕස්ට්‍රේලියාවේ සහ ශ්‍රී ලංකාවේ සිය පර්යේෂණ කටයුතු සිදු කරන ලාංකිකයකු ලොව "පරිසරවේදීන්ට වන නොබෙල් ත්‍යාගය" වශයෙන් සැලකෙන Linnean පදක්කමෙන් පිදුම් ලබන්නේ ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ වන ජීවීන් මෙන්ම ජෛව විවිධත්වය සම්බන්ධයෙන් සිදු කල කැපී පෙනෙන මෙහෙය නිසාමයි.
ඔහු නමින් ආචාර්ය රොහාන් පෙතියාගොඩ
ආචාර්ය රොහාන් පෙතියාගොඩ Australian Museum හි පර්යේෂකයකු වශයෙන් සහ ශ්‍රී ලංකාවේ තරුණ පර්යේෂකයින් හට දැනුම ලබාදෙන්නකු වශයෙන් කටයුතු කරයි.
HIGHLIGHTS
- පරිසරය සහ ජීවීන් පිළිබඳව පරීක්ෂණ සිදු කිරීමට පෙළඹීම සම්බන්ධයෙන් මතකය අවදි කිරීමක්
- Linnean පදක්කමෙන් පිදුම් ලැබීම සඳහා මග සැකසීම
- මේ දක්වා පැමිණි ගමනේදී මුහුණ දීමට සිදු වූ අභියෝග
- ජෛව විවිධත්වය සහ පරිසරය සම්බන්ධයෙන් ඉදිරියේදී සිදු කිරීමට බලාපොරොත්තු වන පර්යේෂණ
- ලොව පරිසර විද්‍යාඥයින් සඳහා වන "නොබෙල් ත්‍යාගය" ලෙස සැලකෙන Linnean පදක්කමෙන් මේ වසරේදී පිදුම් ලැබීම සම්බන්ධයෙන් වන හැඟීම
පරිසරය සහ ජීවීන් පිළිබඳව පරීක්ෂණ සිදු කිරීමට පෙළඹීම සම්බන්ධයෙන් මතකය අවදි කිරීමක්
මෙම කතාබහ ආරම්භයේදීම, පරිසරය සහ ජීවීන් පිළිබඳව පරීක්ෂා කිරීම සඳහා තම ආශාව සහ කුතුහලය ඇතිවීම සම්බන්ධයෙන් අප විමසා සිටි අතර ඒ සම්බන්ධයෙන් මතකය අවදි කරමින් ආචාර්ය රොහාන් පෙතියාගොඩ සඳහන් කලේ කුඩාකල වෙනත් සෑම දරුවකුටම මෙන් තමාටත් මින් මැදුරක් පැවති බවයි.
එවකට තම පියා ආගරපතන ප්‍රදේශයේ රැකියාව සිදු කල අතර තමාට තිබු මෙම මින් මැදුරේ එම ප්‍රදේශයේ සිටි මාලුන් දමා සිටි බව ඔහු සඳහන් කරයි.
තමා සතුව එවකට සිටි එක් මාලු විශේෂයක් විද්‍යාත්මකව නම් කොට නොමැති බවට තමන් ඒ වනවිට දැන නොසිටි අතර, මේ වනවිට එම මාලු විශේෂය වෙනත් විද්‍යාඥයකු විසින් Devario monticola ලෙස හඳුන්වා ඇති බවත් ඔහු අප සමග පැවසීය
කෙසේ නමුත් ඉන් වසර 15ට පමණ පසු ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සම්බන්ධයෙන් විද්‍යානුකුලව පරීක්ෂා කිරීමට තමාට අවස්ථාව හිමි වූ අතර මාලුන් , උභය ජීවීන් සහ මිරිදිය කකුළුවන් ඇතුළු කුඩා සතුන් සම්බන්ධයෙන් තමන් පරීක්ෂණ කල බව ආචාර්ය රොහාන් පවසයි.
_______________________________________________________________________________
මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි කර්තෘ හිමිකාරිත්වය අප සතු බැවින් මෙහි සඳහන් තොරතුරු ලබා ගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.
_______________________________________________________________________________
තමා පිලිබඳව තොරතුරු විමසු විට ආචාර්ය රොහාන් පෙතියාගොඩ අපත් සමග සඳහන් කොට සිටියේ තමන් වුර්තිය නොවන ජීව විද්‍යාඥයකු වශයෙන් හඳුන්වා දිය හැකි බවයි. මේ සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු නොදන්නා බවත් ඔහු පැවසීය.
ආචාර්ය රොහාන් පෙතියාගොඩ, ඉලෙක්ට්‍රොනික ඉංජිනේරු සහ ජීව විද්‍යා ඉංජිනේරුවරයකු වශයෙන් එංගලන්තයේ සිය උසස් අධ්‍යාපනය සිදු කොට තිබේ. සිය උසස් අධ්‍යාපනය සම්පුර්ණ කිරීමෙන් අනතුරුව ඔහු 1980 වසරේදී ශ්‍රී ලංකාවට නැවත ගොස් තිබේ. ඒ මතකය පිළිබඳව සිනා මුසු මුහුණින් අපත් සමග සඳහන් කල ආචාර්ය රොහාන් කියා සිටියේ ඒ වනවිට ශ්‍රී ලංකාවේ සිටි එකම ජීව වෛද්‍ය ඉංජිනේරුවරයා තමා වූ බවයි.

Supplied by Dr Rohan Pethiyagoda / Examines a tree frog at a forest restoration plot in Agarapatana Credit: Kesara Ratnavibhushana/©Rolex/Kesara Ratnavibhushana
අනතුරුව ඉතා කෙටි කාලයකින් ඔහු ශ්‍රී ලංකා සෞඛ්‍ය අමාත්‍යංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු සේවා අංශය සඳහා නව අධ්‍යක්ෂකවරයකු වශයෙන් පත්ව තිබේ. ඔහු ඒ වනවිට ලංකාවේ රාජ්‍ය සේවයේ දෙපාර්තමේන්තුවක ලාබාලතම අධ්‍යක්ෂකවරායාද වූ බව ආචාර්ය රොහාන් පවසයි.
ඔහු වසර 7ක් සෞඛ්‍ය සේවයේ සිට තිබේ. අනතුරුව පෞද්ගලික අංශයේ රැකියාවක් සඳහා යොමුව ඇති අතර ඉන් පසුව ජෛව විවිධත්ව පර්යේෂණ පුර්ණකලීනව සිදු කිරීම අරඹා තිබේ.
_______________________________________________________________________________
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
_______________________________________________________________________________
ඔස්ට්‍රේලියාව සමග සම්බන්ධ වීම පිළිබඳව ආචාර්ය රොහාන් පෙතියාගොඩ සඳහන් කොට සිටියේ දේශපාලනමය වශයෙන් ජීවිත තර්ජන මතුවීම හේතුවෙන් තමා සහ තම පවුල 1989 වසරේදී ශ්‍රී ලංකාව අතහැර ඔස්ට්‍රේලියාවට පැමිණි බවයි.
එම වසරේදී ජනතා විමුක්ති පෙරමුණ ජාතික වැඩවර්ජනයක් ප්‍රකාශ කොට තිබියදී තමන් රැකියාවට යාම හේතුවෙන් මෙලෙස ජීවිත තර්ජන එල්ල වූ අතර එවැනි අවස්ථාවක ඕස්ට්‍රේලියාව තමාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානය යොමු කිරීම පිළිබඳව කෘතඥ වන බවත් ඔහු පවසයි.
කෙසේ නමුත් නැවතත් ශ්‍රී ලංකාවේ තත්වය යහපත් වූ පසු ආචාර්ය රොහාන් පරීක්ෂණ කටයුතු සඳහා ශ්‍රී ලංකාවට ගොස් ඇති අතර 2008 වසරේදී ඕස්ට්‍රේලියානු කෞතුකාගාරය (Australian Museum) මගින් පර්යේෂණ තනතුරක් භාරදීමෙන් අනතුරුව ඔස්ට්‍රේලියාවට පැමිණ තිබේ.
මේ වනවිට ඔහු විශ්‍රාමික නමුත් ශ්‍රී ලංකාවේ සිට පරිසරය සම්බන්ධයෙන් විවිධ කටයුතු අඛණ්ඩව සිදු කරමින් සිටී.
කෙසේ නමුත් ජෛව විවිධත්ව අධ්‍යයනයේ යෙදී සිටින දක්ෂ තරුණ පිරිසක් ශ්‍රී ලංකාවේ මේ වනවිට සිටින අතර ඔවුන්ට තම දැනුම සහ සහාය ලබාදීම ඉතා සතුටින් සිදු කරන බවත් ආචාර්ය රොහාන් පැවසීය.
Linnean පදක්කමෙන් පිදුම් ලැබීම සඳහා මග සැකසීම
Linnean පදක්කමෙන් පිදුම් ලැබීම සඳහා මග සැකසීම සම්බන්ධයෙන් අප කල විමසුමේදී ආචාර්ය රොහාන් සඳහන් කොට සිටියේ, තමා සහ තම කණ්ඩායමේ සගයින් ශ්‍රී ලංකාවේ සත්ව විශේෂ 150ක් පමණ සොයාගැනීම සිදු කොට ඇති බවයි. මේ හේතුවෙන් සහ සතුන් සම්බන්ධයෙන් පොත් පත් ආශ්‍රිතව කලක් තිස්සේ සිදු කල මෙහෙය හේතුවෙන් තමාට මෙය ලැබෙන්නට ඇති බව ඔහු පවසයි.
- ආචාර්ය රොහාන් පෙතියාගොඩ 2022 මැයි 24 වනදින Linnean පදක්කමෙන් පිදුම් ලැබීම -
කෙසේ නමුත් මේ සඳහා තමා නිර්දේශ කිරීම සම්බන්ධයෙන් එම කමිටුව කිසිවක් තමාට කලින් සඳහන් නොකළ බව ඔහු පවසයි.
මේ දක්වා පැමිණි ගමනේදී මුහුණ දීමට සිදු වූ අභියෝග
මේ දක්වා මුහුණ දීමට සිදු වූ අභියෝග පිළිබඳව විමසු විට ආචාර්ය රොහාන් සඳහන් කොට සිටියේ, සෑම අයකුම සාර්ථකව මුහුණ දුන් අභියෝග සම්බන්ධයෙ සිතීමට කැමති, නමුත් තමන් අසාර්ථක වූ අභියෝග පිළිබඳව අවධානය යොමු කරන බවයි.
2004 වසරේදී රජයේ පරිසර උපදේශක වශයෙන් කටයුතු කරමින් සිටියදී තමා ජීවිතයේ ලොකුම අසාර්ථකත්වයට මුහුණ දුන් බව ආචාර්ය රොහාන් පැවසීය
එවකට ශ්‍රී ලංකාවට ජාතික ජෛව විවිධත්ව ආයතනයක් පිහිටුවීමට තීරණය කල අතර ඒ සඳහා අරමුදල් රැස්කිරීමට ආචාර්ය රොහාන් ජාත්‍යන්තර වශයෙන් කටයුතු සිදු කොට තිබේ. එය සාර්ථක වී ඇති අතර ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 23ක ආධාර ලබාදීමට විවිධ ආයතන එකඟ වී තිබේ.
මේ සඳහා එවකට දේශපාලනමය වශයෙන්ද දැඩි සහයක් ලැබි නමුත්, රජය සිංහරාජය විකිණීමට යන බව පවසමින් පරිසරවේදීන් කිහිප දෙනෙකු මෙම ව්‍යාපාරය සහ තමන් අපකීර්තියට පත් කිරීමට කටයුතු කල බව ඔහු පවසයි.

Supplied by Dr Rohan Pethiyagoda
මේ හේතුවෙන් එම මුදල් ශ්‍රී ලංකාවට නොලැබි අතර, එම අරමුදල් යටතේ ඉන්දියාවේ බැංගලෝර් හි පර්යේෂණ ආයතනයක් පිහිටුවා තිබේ.
මෙවැනි ආයතනයක් නොමැතිව ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම අපහසු වන අතර එය කණගාටුවට කරුණක් වන බව ආචාර්ය රොහාන් පැවසීය.
ජෛව විවිධත්වය සහ පරිසරය සම්බන්ධයෙන් ඉදිරියේදී සිදු කිරීමට බලාපොරොත්තු වන පර්යේෂණ
තමාට නව තරුණ පර්යේෂකයින් සමග ඉදිරියේදී පර්යේෂණ රැසක් සිදු කිරීමට නියමිත බව ආචාර්ය රොහාන් සඳහන් කොට සිටී. තමන් 1987දී මිරිදිය මසුන් සම්බන්ධයෙන් පර්යේෂණ සිදු කරන විට ශ්‍රී ලංකාවේ මෙම ක්ෂේස්ත්‍රයේ සිටි එකම පුද්ගලයා තමන් වූ නමුත් මේ වනවිට වඩාත් දියුණු තරුණ විද්‍යාඥයින් රැසක් ලංකාවෙන් බිහිව ඇතැයි ඔහු ඉතා සතුටින් පවසයි.
_______________________________________________________________________________
මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි කර්තෘ හිමිකාරිත්වය අප සතු බැවින් මෙහි සඳහන් තොරතුරු ලබා ගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.
_______________________________________________________________________________
ශ්‍රී ලංකාව ජෛව විවිධත්වය අතින් ඉතා සුවිශේෂී ස්ථානයක් ඉසිලුවද, ජෛව විවිධත්ව සංරක්ෂණ පර්යේෂණ සඳහා නිසි පර්යේෂණ මධ්‍යස්ථානයක් නොමැති වීම අභියෝගයක් වන බව ඔහු පවසයි.
ලොව පරිසර විද්‍යාඥයින් සඳහා වන "නොබෙල් ත්‍යාගය" ලෙස සැලකෙන Linnean පදක්කමෙන් පිදුම් ලැබීම සම්බන්ධයෙන් වන හැඟීම
මෙවැනි සුවිශේෂී පදක්කමකින් පිදුම් ලැබීම සම්බන්ධයෙන් ඇතිවන හැඟීම පිළිබඳව අප කල විමසුමකදී ආචාර්ය රොහාන් පෙතියාගොඩ අපත් සමග සඳහන් කොට සිටියේ මෙය තමාට ඉතා සතුටට කරුණක් වන නමුත් තමන්ව මෙම පදක්කම සඳහා සලකා බලන බව දැන නොසිටි බවයි.

Credit: Linnean Society / Public Domain
මින් පෙර ආචාර්ය රොහාන් ත්‍රිවිද හමුදාවට සිදු කල සේවය වෙනුවෙන් 1987 වසරේදී වඩමාරච්චි සම්මානයෙන් සහ වන ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා 2000 වසරේදී Rolex සම්මානයෙන් පිදුම් ලැබීම සිදු විය.
Linnean පදක්කමෙන් පිදුම් ලැබීමේ සුවිශේෂී බව සම්බන්ධයෙන් ආචාර්ය රොහාන් තවදුරටත් පැවසුවේ, මෙම පදක්කමෙන් පිදුම් ලැබූ ආසියාවේ දෙවැනි පුද්ගලයා සහ ශ්‍රී ලංකාවේ පළමු වැනියා තමන් වීම වන බවයි
1858 වසරේදී පරිනාමය පිළිබඳව වන න්‍යාය ලොව ප්‍රථම වරට හඳුන්වා දුන් ශ්‍රවනාගාරය තුල Charles Darwin ගේ ප්‍රතිමුර්තිය යටතේ මෙම පදක්කම ලැබීම තම ජීවිතයේ ලැබූ අපූරු අත්දැකීමක් වූ බවයි දැඩි සතුටකින් යුතුව ආචාර්ය රොහාන් අවසන් වශයෙන් SBS සිංහල සේවයට පවසා සිටියේ.
_______________________________________________________________________________
මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි කර්තෘ හිමිකාරිත්වය අප සතු බැවින් මෙහි සඳහන් තොරතුරු ලබා ගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.
_______________________________________________________________________________
ඩිජිටල් සහ සමාජමාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
_______________________________________________________________________________
Share