විදෙස්ගතව සිට වික්ටෝරියා ප්‍රාන්තයට පැමිණෙන සියලුම පුද්ගලයින් හෝටල් වල නිරෝධායනය වීමේදී කොරෝනා පරීක්ෂාවන්ට භාජනය වීම අනිවාර්ය කර තිබේ.
SBS සිංහල සේවය
SBS Radio APP එකෙන් (Free download)
මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයේ කොරෝනා වයිරසය යළි හිස එසවීම පිළිබඳ ඔස්ට්‍රේලියානු සෞඛ්‍ය බලධාරීන් සැලකිලිමත් වන නමුත් එය "දෙවන කොරෝනා රැල්ලක්" ලෙස හැඳින්වීම නතර කර ඇති බව වාර්තා වේ.

Victorian Premier Daniel Andrews Source: AAP
විදෙස්ගතව සිට වික්ටෝරියා ප්‍රාන්තයට පැමිණෙන සියලුම පුද්ගලයින්ට කොරෝනා පරීක්ෂාවන්
විදෙස්ගතව සිට වික්ටෝරියා ප්‍රාන්තයට පැමිණෙන සියලුම පුද්ගලයින්ට දෙවරක් කොරෝනා පරීක්ෂාවන් සිදු කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය ඊයේ (28/06) තීරණය කළේය.
ඒ අනුව විදෙස්ගතව සිට වික්ටෝරියා ප්‍රාන්තයට පැමිණෙන සියලුම පුද්ගලයින් දින 14 ක කාලයක් හෝටල් වල නිරෝධායනය සඳහා යොමු කරන අතර නිරෝධායනයේ තුන්වන දිනයේදී පළමු කොරෝනා පරීක්ෂාව සිදු කරනු ඇත.
දෙවනි කොරෝනා පරීක්ෂාව 11 වන දිනයේදී සිදු කෙරේ.
SBS සිංහල සේවය
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
එම කොරෝනා පරීක්ෂාවන්ට භාජනය වීම ප්‍රතික්ෂේප කරන පුද්ගලයින්ට තවත් අමතර දින 10 ක් අදාළ හෝටල් වල නිරෝධායනය වීමට සිදුවේ.
එම ක්‍රියා මාර්ගය ගනු ලබන්නේ වික්ටෝරියානු ජන සමාජයට කොරෝනා වයිරසය සම්ප්‍රේෂණය වැළක්වීමේ මූලික අරමුණින් බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews ඊයේ (28/06) පැවසීය.
වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා වයිරසය පැතිරීම යළි හිස එසවීම හේතුවෙන් මෙම ක්‍රියාමාර්ගය ගත් බවද ඔහු එහිදී පැහැදිලි කළේය.

Victoria has been ramping up COVID-19 testing in hotspots. Source: AAP
වික්ටෝරියානු ප්‍රාන්තයෙන් වාර්තාගත ආසාදිතයින් සංඛ්‍යාවක්
ගතවූ පැය 24 තුළ සමස්ත ඔස්ට්‍රේලියාවෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 53 ක් වන අතර ඉන් 49 දෙනෙකුම වාර්තා වී ඇත්තේ වික්ටෝරියා ප්‍රාන්තයෙනි.
අප්‍රේල් මාසයෙන් අනතුරුව එක් දිනකදී වික්ටෝරියා ප්‍රාන්තයෙන් හමුවූ ඉහළම ආසාදිතයින් ගණන ලෙසද එය හැඳින්වේ.
එයින් ආසාදිතයින් සිව් දෙනෙකු දැනට හඳුනාගෙන ඇති කොරෝනා පොකුරු වලට සම්බන්ධ බවත් තවත් 26 දෙනෙකු කොරෝනා පරීක්ෂාවන් හරහා හඳුනාගත් බවත් සඳහන්.
ඉතිරි ආසාදිතයින් 19 දෙනාට වයිරසය ආසාදනය වූ අයුරු පිළිබඳ තවමත් පරීක්ෂණ පවත්වන බව වාර්තා වේ.
මේ අතර නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ආසාදිතයින් තිදෙනෙකුද බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයෙන් එක් ආසාදිතයෙකු ද ඊයේ දිනයේ (28/06) හමුවී තිබේ.
ජනවාරි 1 වනදා සිට මේ දක්වා වික්ටෝරියා හි කොරෝනා පරීක්ෂණ 780,000 ක් පවත්වා ඇති අතර අඩු ආක්‍රමණශීලී නව ශ්ලේෂ්මල පරීක්ෂණ (new less-invasive saliva testing) ඊයේ (28/06) සිට ආරම්භ කරන බව ද වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.
නිරෝධායන කාර්ය මණ්ඩල අතරේ කොරෝනා පැතිරීමට හේතු
නිරෝධායන කාර්ය මණ්ඩල අතරේ කොරෝනා වයිරසය පැතිරීමට ප්‍රධාන හේතු ලෙස සිගරට් ලයිටර්, carpooling හෙවත් වාහන හවුලේ භාවිත කිරීම හඳුනාගෙන ඇති බව වික්ටෝරියානු ප්‍රාන්ත අගමැති Daniel Andrews පැවසීය.
ඔවුන් දුරස්ථ භාවය ආරක්ෂා කළද එකිනෙකා අතර සිගරට් ලයිටර් වැනි දේවල් හුවමාරු කරගැනීමෙන් වයිරසය සම්ප්‍රේෂණය වීමට මග සකස් වන බව ඔහු පැහැදිලි කළේය.

Source: SBS Sinhala