ඊයේ (11/03) පැවති බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත මැතිවරණයෙන් One Nation පක්ෂයට හිමිවූ පරාජයට එම පක්ෂයේ නායිකාව වන Pauline Hanson ලිබරල් පක්ෂයට සහ බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්තයේ ලිබරල් පක්ෂ නායක Colin Barnett හට චෝදනා කරයි.
ලිබරල් පක්ෂය මැතිවරණය ජයග්‍රහණය කළහොත් ඔවුන්ට වැඩි ආසන ප්‍රමාණයක බලය ලබා දීමට One Nation පක්ෂයේ සහය ලබා ගන්නා බවට ගිවිසුමක් මැතිවරණයට පෙර පක්ෂ දෙක අතර ඇති කරගෙන තිබුණි.
මැතිවරණයට පෙර සිටම One Nation පක්ෂය, මෙවර මැතිවරණයෙන් 9% ක වැනි ඉහළ ප්රතිශතයක ඡන්ද ලබා ගනු ඇතැයි සමීක්ෂණ වාර්තා පෙන්වා දුන් නමුත් මේ වන විට ප්‍රකාශ කර ඇති ප්‍රතිඵල වලට අනුව ඔවුන්ට ලබා ගත හැකිව ඇත්තේ 4.7% ක ඡන්ද ප්‍රමාණයක් පමණි.
මේ වන විට ප්‍රකාශිත ප්‍රතිඵල වලින් පෙනී යන පරිදි One Nation පක්ෂයට බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රණ සභාවේ කිසිදු ආසනයක් හිමිවී නොමැති අතර මේ වන විට එකම අපේක්ෂාව වී ඇත්තේ සෙනට් සභාවේ ආසනයක් හිමි කරගැනීමය.
තම පක්ෂයේ ප්‍රතිරූපය, මෙවර මැතිවරණයෙන් පරාජයට පත්වූ බටහිර ඔස්ට්‍රේලියාවේ ප්‍රාන්ත අගමැති සහ ලිබරල් පක්ෂයේ ප්‍රාන්ත නායක Colin Barnett සමග එක් වීමෙන් පළුදු වූ බව ද One Nation පක්ෂයේ නායිකාව වන Pauline Hanson වැඩි දුරටත් පවසයි.
“මැතිවරණයට පෙර සිටම කවුරුත් පාහේ මගෙන් ඇහුවේ, ලිබරල් පක්ෂයත් සමග සන්ධාන ගත වීමට තීරණය කළේ ඇයි කියලා. මම හිතන්නේ නැහැ වැරැද්ද ලිබරල් පක්ෂයේ කියලා. වැරැද්ද Colin Barnett ගෙ. ඔහුට පැත්තකට වෙලා ඉන්න තිබුණා. ඒක හරියට ඔබේ ශීතකරණයේ තිබෙන කිරි වගේ. කාලයක් යන්න යන්න ඒ කිරි ඇඹුල් වෙනවා. එනිසා ඔබ එය ඉවතට වීසි කරන්න ඕනේ. Colin Barnett ටත් එහෙම කරන්නයි තිබුණේ.” Pauline Hanson තව දුරටත් පැහැදිලි කළාය.
කෙසේවෙතත්, බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත මැතිවරණයේදී තම පක්ෂය ගත් උත්සාහය පිළිබඳ තමන් ආඩම්බර වන බව ද ඇය පවසයි.
තම පක්ෂයට ඡන්දය ලබා දුන් සියලු ඡන්ද දායකයින් හටද ඇය ස්තුතිය පළ කළාය.
Read More About WA State Election 2017

2017 බටහිර ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත මැතිවරණය නිමාවට පත්වෙයි. කම්කරු පක්ෂයට විශිෂ්ඨ ජයක්. - SBS සිංහල