2023/24 මුල්‍ය වර්ෂය සඳහා ඔස්ට්‍රේලියාවේ මධ්‍යම අය - වැය මැයි 09 පස්වරුවේ මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Jim Chalmers විසින් ඉදිරිපත් කරන ලදී.
මෙවර අය වැයට අනුව ඔස්ට්‍රේලියානුවාසීන්ට ලැබෙන හිමිවීම් සහ අහිමිවීම් මොනවද යන්න පිළිබඳ මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.
ඔස්ට්‍රේලියාවේ ජීවන වියදම් පීඩනය ලිහිල් කිරීමට මෙවර අය වැයෙන් රජය ගෙන ඇති ප්‍රධාන පියවර කිහිපයක් වෙත මුලින් අපි අවධානය යොමු කරමු.
සුභසාධන දීමනා ලබන්නන්
විවිධ වැඩ කරන වයසේ සහ ශිෂ්‍ය ගෙවීම් සඳහා මධ්‍යස්ථ ඉහළ දැමීමක් සිදු කර තිබේ.
ඒ අනුව 2023 සැප්තැම්බර් අග සිට මතු කියවෙන දීමනා ලබන පුද්ගලයින්ට සතිපතා ඩොලර් 20ක වැඩිවීමක් හෝ දිනකට ඩොලර් 2.86ක වැඩිවීමක් ලැබෙනු ඇත.
- JobSeeker
- Youth Allowance
- The Partnered Parents Payment
- Austudy
- ABSTUDY
- The Youth Disability Support Pension
- The Special Benefit Payment
විශේෂයෙන්ම නිවාස නොමැතිකමට සහ දරිද්‍රතාවයට ගොදුරු විය හැකි කාන්තාවන් සමඟ, වයස අවුරුදු 55 ට වැඩි පුද්ගලයින් සඳහා මෙම පියවර විශාල එකක් ලෙස මධ්‍යම රජය සලකයි.
මෙම වැඩි කිරීම් හරහා ඔවුන්ට සෑම දෙසතියකටම අමතර ඩොලර් 92.10ක් ලැබෙනු ඇත.
නමුත් මෙම සහනය තවමත් සුබසාධන උපදේශකයින් ඉල්ලා සිටි ප්‍රමාණයට වඩා බෙහෙවින් අඩු ය.
ඔස්ට්‍රේලියානු සමාජ සේවා කවුන්සිලය සතිපතා ඩොලර් 476 ක ගාස්තුවක් ඉල්ලා සිටී.

There are many groups who will get more as JobSeeker payments are increased. Source: SBS
කුලී නිවැසියන්
අඩු ආදායම්ලාභී කුලී නිවැසියන්ට ඉහළ යන කුලී නිවාස මිල ගෙවීමට අරගල කරන අයට සාමාන්‍ය සහනයක් ලැබෙනු ඇත.
මෙහිදී මධ්‍යම රජයේ නිවාස කුලී උපකාරක ගෙවීම 15% කින් වැඩි වනු ඇත.
ඒ අනුව දරුවන් නොමැති තනි පුද්ගලයෙකුට සෑම සතියකම ඩොලර් 90.39ක් දක්වා සතියකට අමතර ඩොලර් 11.79ක් ලැබෙනු ඇත.
Family Tax Benefit මත දරුවන් තිදෙනෙකු සිටින යුවලකට වාර්ෂිකව තවත් ඩොලර් 800ක් හෝ සතියකට ඩොලර් 15ක් පමණ මේ නිසා අමතරව ලැබෙනු ඇත.

හිමිවීම්
සංක්‍රමණිකයින් සහ ඔස්ට්‍රේලියානු වීසා පද්ධතිය
2023 ජුලි 1 සිට වීසා අයදුම්කරුවෙකුට ඔස්ට්‍රේලියාවේ සේවා යෝජකයෙකුගෙන් වීසා සඳහා අනුග්‍රහය ලබා ගැනීමේදී අදාළ වීසා ලාභියාට ගෙවිය යුතු අවම වැටුප හෙවත් Temporary Skilled Migration Income Threshold (TSMIT) $53,900 සිට $70,000 දක්වා ඉහළ දැමේ.
ප්‍රධාන කර්මාන්ත අංශවල පුහුණු ශ්‍රමිකයින්ගේ දායකත්වය ලබා ගැනීමේ මාර්ගය වැඩිදියුණු කිරීම සඳහා තෝරාගත් උපාධි සහිත තාවකාලික උපාධිධාරී වීසා හිමියන්ට අමතර වසර දෙකක් තම උපාධියෙන් පසුව රැකියා කිරීම සඳහා අවසර ලබා දීමට මධ්‍යම රජය තීරණය කර තිබේ.
වීසා සැකසුම් නිලධාරීන් 500 දෙනෙකුට සහාය වීම සඳහා මධ්‍යම රජය මාස 12ක් තුළ අමතර ඩොලර් මිලියන 48.1ක් ලබා දෙනු ඇත.
නිපුණතා ශ්‍රමිකයින්ව, ජාත්‍යන්තර සිසුන්ව සහ සංචාරකයින්ව ගෝලීය සංක්‍රමණික තරඟය තුළ ඔස්ට්‍රේලියාවට වැඩියෙන් ආකර්ෂණය කරගැනීම පිණිස දැනට පවතින වීසා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ පද්ධති වැඩිදියුණු කිරීම සඳහා වසර දෙකක් තුළ ඩොලර් මිලියන 27.8ක් ආයෝජනය කිරීමටද මධ්‍යම රජය සූදානම් වේ.
සරණාගතයින් සහ වයස අවුරුදු 15 සිට 25 දක්වා අවදානමට ලක්විය හැකි සංක්‍රමණිකයන් සඳහා රැකියා, අධ්‍යාපනය සහ සමාජ සම්බන්ධතා වැඩිදියුණු කරන Youth Transition Support services අඛණ්ඩව සැපයීම සහතික කිරීම සඳහා මාස 12ක් පුරා ඩොලර් මිලියන 9.1ක් වෙන් කර තිබේ.
———————————————————————————
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
———————————————————————————
තරුණ හා වියපත් රෝගීන්
වයස අවුරුදු 16ට අඩු පුද්ගලයින්, විශ්‍රාමිකයින් සහ අනෙකුත් concession කාඩ්පත් හිමියන් Standard Appointments හරහා තම පවුලේ වෛද්‍යවරයා හමුවීමේදී ඔවුන්ට ලැබෙන bulk billing සහනය තුන්ගුණයකින් වැඩි කර තිබේ.
මිලියන 11 කට වැඩි පිරිසකට නොමිලේ තම පවුලේ වෛද්‍යවරයා හමුවීමට හැකිවීම එහි ප්‍රතිඵලයකි.
විනාඩි 20ක් දක්වා වන සියලුම Telehealth වෛද්‍ය උපදේශන සේවාවන් ද මෙයට ඇතුළත් කර ඇත.
Single Parents හෙවත් තනිකඩ මා පියන්
Single-parent payment හෙවත් තනිකඩ මාපිය ගෙවීම දරුවෙකුගේ වයස අවුරුදු 14ක් වනතුරු ගෙවීමට තීරණය කර තිබේ.
මේ වන විට එම වයස අවුරුදු 8 මට්ටමේ පවතී.
සෑම දෙසතියකටම අමතර ඩොලර් 176.90 බැගින් වන පරිදි 57,000ක් පමණ තනිකඩ මාපියන්ට JobSeeker දීමනාවට වඩා ඉහළ අනුපාතයක් මත තවත් වසර හයක් මෙම තනිකඩ මාපිය දීමනාව ලැබෙනු ඇත.

The single parent payment will continue until a child is 14-years-old, rather than eight.
නිවෙස් හිමියන්
බලශක්ති කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම පිණිස තම නිවාස ප්‍රතිසංස්කරණය කරන පුද්ගලයින් සඳහා අඩු වියදම් ණය ලබාදීම සඳහා කම්කරු පක්ෂ රජය අලුතින් ඩොලර් බිලියන 1.3 ක අරමුදලක් පිහිටුවනු ඇත.
සූර්ය පැනල සහ double-glazed windows සවි කිරීම උදෙසා මෙම ණය මුදල් ලබාදෙයි.
එයට social නිවාස වැඩිදියුණු කිරීම් සඳහා විශේෂයෙන් වෙන් කර ඇති ඩොලර් මිලියන 300 ඇතුළත් වන අතර, නිවාස 60,000 ක් සඳහා බලශක්ති පිරිවැය කපා හරිනු ඇති බව මධ්‍යම රජය පවසයි.
නිවසක බලශක්ති කාර්යක්ෂමතා ශ්‍රේණිගත කිරීම තරු එකේ සිට තුන දක්වා ඉහළ නැංවීමෙන් බිල්පත් තුනෙන් එකකින් පමණ අඩු කළ හැකි බවටද රජය ඇස්තමේන්තු කරයි.
පවුල් සහ ලිංගික හිංසන සේවා
ප්‍රාන්ත සහ ටෙරිටරි සමඟ ජාතික හවුල්කාරිත්වයක් හරහා පීඩනයට ලක්වන ඉදිරිපෙළ සේවාවන්ට වසර දෙකක් තුළ අමතර ඩොලර් මිලියන 159ක් ලැබෙනු ඇත.
පවුල් උසාවි පද්ධතිය, හදිසි නවාතැන් සේවා සහ ඉක්මන් මැදිහත්වීම් කටයුතු හරහා අනෙකුත් අරමුදල් ව්‍යාප්ත කිරීමට නියමිතව ඇති අතර, පවුල් ප්‍රචණ්ඩත්වයෙන් මිදෙන කාන්තාවන් සඳහා නඩු ගාස්තු ගෙවීම 2025 මුල දක්වා දීර්ඝ කෙරේ.
ඔස්ට්‍රේලියාවේ නීති පද්ධතිය ලිංගික හිංසන සිද්ධීන් විමර්ශනය කරන හා හසුරුවන ආකාරය පිළිබඳ සමාලෝචනයකට වසර හතරක් තුළ ඩොලර් මිලියන 6.5ක් ලැබෙනු ඇත.

Prime Minister Anthony Albanese and Treasurer Jim Chalmers have attributed Australia's predicted $19 billion budget surplus to good economic management. Source: AAP / Mick Tsikas
ධනවත් ඔස්ට්‍රේලියානුවන්
හිටපු ලිබරල් සන්ධාන රජය විසින් කම්කරු පක්ෂයේ ද සහය ඇතිව එවකට හඳුන්වා දුන් ඔස්ට්‍රේලියාවේ ඉහළ ආදායම් ලබන පුද්ගලයින් සඳහා වන 3 වන අදියරේ බදු කප්පාදුව කල් දැමීමේ ක්‍රියාවලිය තවදුරටත් වෙනස් නොකර සිටීමට මෙවර අය වැයේදී තීරණය කර තිබේ.
මේ තීරණය නිසා වසර දහයක් පුරාවට ඩොලර් බිලියන 200කට වඩා වැඩි මුදලක් වැය කිරීමට මධ්‍යම රජයට සිදුවනු ඇත.
මෙය ජීවන වියදම් පීඩනයෙන් මිරිකී සිටින අඩු ආදායම්ලාභී පවුල්වල දැඩි දෝෂ දර්ශනයට ලක්වී තිබේ.
Andrew Forrest could be one of the big winners from the budget.
අහිමිවීම්
වීසා අයදුම්කරුවන්
පැසිෆික් දූපත්වාසී වීසා අයදුම්කරුවන් හැර, සියලුම ඔස්ට්‍රේලියානු වීසා අයදුම්පත්‍රවල පිරිවැය 2023 ජූලි මාසයේ සිට අවම වශයෙන් 6% කින් ඉහළ යනු ඇත.
ඒ අනුව සංචාරක වීසා අයදුමපතකට ඩොලර් 40ක් (මුළු ගාස්තුව $190) වැඩිපුර ගෙවීමට සිදුවනු ඇත.
Backpacker වීසා බලපත්‍රයක් සඳහා ඩොලර් 130ක් (මුළු ගාස්තුව $640) වැඩිපුර ගෙවීමට සිදුවනු ඇති අතර ශිෂ්‍ය වීසා අයදුමපතකට ඩොලර් 65ක් (මුළු ගාස්තුව $715) වැඩිපුර ගෙවීමට සිදුවනු ඇත.
Business innovation and investment වීසා අයදුම්පත්‍ර සඳහා 40% ක වැඩි වීමක් ද ඇත.
මෙම වෙනස්කම් මගින් සෑම වසරකම ඩොලර් මිලියන 100 කට වඩා වැඩි මුදලක් එකතු වන අතර එමඟින් වීසා සැකසීමේ ක්‍රමය වැඩිදියුණු කිරීමට අරමුදල් ලැබෙනු ඇති බව මධ්‍යම රජය පවසයි.
විශාල super අරමුදල් ශේෂයන් සහිත පුද්ගලයින්
Superannuation අරමුදල්වල ඇති මුදල් සඳහා දැනට පවතින 15% ක බදු අය කිරීම ඉදිරියටද ක්‍රියාත්මක වන නමුත් 2025 වසරේ මැද සිට Superannuation අරමුදල්වල ඩොලර් මිලියන 3 කට වැඩි ඕනෑම ඩොලරයක් සඳහා එය 30% දක්වා ඉහළ නංවනු ඇත.
බහුජාතික සමාගම්
ඔස්ට්‍රේලියාවේ ක්‍රියාත්මක වන ජාත්‍යන්තර සමාගම් සඳහා ඇති හිඩැස් ද වසා දමනු ඇත.
2024 ජනවාරි 1 සිට, විශාල ජාත්‍යන්තර සමාගම් 15% ක අවම බදු අනුපාතයක් ගෙවනු ඇත.
සමාගමක් විදේශයන්හි අඩු බදු අනුපාතයක් සොයා ගැනීමට සමත් වන විට, ඔවුන්ගෙන් දේශීයව සියයට 15 දක්වා බදු අය කරනු ලැබේ. (උදාහරණයක් ලෙස, ඔවුන් වෙනත් තැනක සියයට 13ක් ගෙවන්නේ නම්, ඔවුන්ගෙන් සියයට 2ක් වැඩිපුර අය කරනු ලැබේ).
දුම්කොළ සහ vaping සමාගම්
මෙවර අයවැයට සිගරට් සඳහා 5% ක බදු වැඩිවීමක් ඇතුළත් වන අතර, පැකට්ටුවක සාමාන්‍ය මිල දළ වශයෙන් ඩොලර් 50 ක් දක්වා ඉහළ යයි.
මෙම පියවර මගින් ඩොලර් බිලියන 3 කට වැඩි ආදායමක් උපයා ගැනීමට අපේක්ෂා කෙරේ.
මීට අමතරව සියලුම non-prescription සහ එක් වරක් පමණක් භාවිතා කළ හැකි vapes ආනයනය තහනම් කෙරේ.
වෛද්‍යමය වශයෙන් නිර්දේශිත සියලුම vapes, රස රහිත වන අතර ඖෂධ වැනි ඇසුරුම්වලින් පැමිණේ.