ඕස්ට්‍රේලියාවේ ශුද්ධ විදේශ සංක්‍රමණය පසුගිය මාර්තු දක්වා වූ වසර තුළ 454,000 දක්වා ඉහළ යාම සිදු විය. මෙය වාර්තාගත ඉහළම අගය වන බවද සඳහන් වේ. කෙසේ නමුත් මෙම වසර අවසන් වන විට මෙම අගය 500,000 ට වඩා ඉහල යනු ඇතැයි අපේක්ෂා කෙරේ.
ඕස්ට්‍රේලියාව සිය දේශසීමා නැවත විවෘත කිරීමෙන් පසු සංක්‍රමණය ඉහල යාම සිදු වූ අතර, කෙසේ නමුත් මෙවර එම අගය පෙර නොවූ ආකාරයට ඉහල යාමක් දක්නට ලැබේ.
ඔස්ට්‍රේලියාවට පැමිණෙන සෑම අමතර සංක්‍රමණිකයන් 100,000ක්ම මෙරට කුලී ප්‍රතිශතය 1%කින් පමණ ඉහල දැමීම සිදු කරයි.
එම තත්වය ඕස්ට්‍රේලියාවේ කුලී දේපල හිමිකරුවන්ට ප්රතිලාභ ලබා දෙන නමුත්, නිවාස කුලිය ගෙවීමට මේ වනවිටත් අරගල කරමින් සිටින පිරිසට එය තවත් පීඩනයක් ගෙන දෙයි.
නිවාස සැපයුම ඉහළ නැංවීම සඳහා දිගු කාලීනව නිවාස මිල අඩු කිරීමට ජාතික කැබිනට් මණ්ඩලයේ සැලැස්ම යහපත් වන නමුත් නිවාස ඉදිකිරිම සඳහා යම් කාලයක් ගත වීම හේතුවෙන් නිවාස කුලී ගැටලුව ඉක්මනින් විසඳීම සඳහා එය කඩිනම් විසඳුමක් නොවේ.

Source: AAP
මේ හේතුවෙන් Grattan ආයතනය පෙන්වා දෙන්නේ, ඉහල නිවාස කුලී අවදානමෙන් ඕස්ට්‍රේලියානුවන් මුදවාගැනීම සඳහා ඔස්ට්‍රේලියාවට සිදුවන සංක්‍රමණය මන්දගාමී කළයුතු බවයි.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් සැලකිලිමත්ව තීරණ ගතයුතු බවත් එසේ නොවුන හොත් මුල්‍ය ගැටළු ඇතිවන බවත් ඔවුන් පෙන්වා දෙයි.
ඕස්ට්‍රේලියාව මේ වසර තුල ස්ථිර පුහුණු සංක්‍රමණිකයින් සඳහා ස්ථාන 137,100ක් පිරිනමා තිබේ.
Grattan ආයතන ආකෘති නිර්මාණය පෙන්නුම් කරන්නේ සෑම වසරකම ස්ථීර නිපුණතා වැඩසටහන ස්ථාන 10,000 කින් අඩු කිරීම ඉදිරි වසර 30 තුළ මධ්‍යම සහ ප්‍රාන්ත අයවැය සඳහා ඩොලර් බිලියන 68ක සිට ඩොලර් බිලියන 125ක් දක්වා වැය විය හැකි බවයි.
එමෙන්ම permanent family visas හෙවත් "ස්ථිර පවුල් වීසා" සංඛ්‍යාව අඩු කිරීම ඕස්ට්‍රේලියාවේ නිවාස ඉල්ලුම අඩු කිරීමට දැඩි බලපෑමක් සිදු නොකරන බව Grattan ආයතනය පෙන්වා දෙයි.
මෙම කරුණු මත පදනම්ව, ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා ගාස්තු වැඩි කළ යුතු අතර, අඩු මිලට අඩු පාඨමාලා සිදු කිරීමට අදහස් කරන සිසුන් ඕස්ට්‍රේලියාවට පැමිණීම අධෛර්යමත් කළ යුතු බව Grattan ආයතනය ඕස්ට්‍රේලියානු රජයට යෝජනා කරයි.

Source: Getty / Getty Images/urbazon
එමෙන්ම නිවාස තැනීමට අවශ්‍ය වන නිපුණත සහිත ක්ෂේස්ත්‍ර වල ඉගෙනුම ලබන ජාත්‍යන්තර සිසුන් ප්‍රමාණයද අඩු බවත් ඔවුන් පෙන්වා දෙයි.
ශිෂ්‍ය වීසා ඉල්ලුම්පත්‍ර ගාස්තු $710 සිට $2500 දක්වා ඉහළ නැංවීමෙන්, වසරකට ඩොලර් බිලියන 1ක් පමණ එක් වන බවත් එය කුලී ආධාර 20%කින් ඉහළ නැංවීමට ප්‍රමාණවත් බවත් Grattan ආයතනය පෙන්වා දෙයි.
රජය මගින් ජාත්‍යන්තර සිසුන් සඳහා අවම ඉංග්‍රීසි ප්රමිතීන් ඉවත් කිරීම ඔස්සේ අඩු වටිනාකම් සහිත පාඨමාලා සපයන්නන් ඉවත් කිරීම සිදු වන බවත් Grattan ආයතනය පවසයි.
කෙසේ නමුත් ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් සංඛ්‍යාව සීමා කිරීම වැනි විකල්ප යෝජනා ප්‍රයෝගික නොවන බවත් ඒ ඔස්සේ කුලී නිවාස ගැටලුවට සෘජු බලපෑමක් සිදු නොවන බවත් එම ආයතනය පෙන්වා දෙයි.

Source: AAP
Grattan ආයතනය තවදුරටත් පෙන්වා දෙන්නේ කෙටිකාලීන පශ්චාත් අධ්‍යයන රැකියා වීසා ලබා දීමෙන් උපාධිය ලැබීමෙන් පසු ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීම අරගල කරන සිසුන් ඉක්මනින් රටින් පිටවීම සිදු වන බවයි.
එමෙන්ම නිපුණතා හිඟයක් පවතින ක්සේස්ත්ර වල ඉගෙනුම ලැබූ ප්‍රාදේශීය ප්‍රදේශ වල සිටින ජාත්‍යන්තර සිසුන්ගේ වීසා කාලය කෙටි කල යුතු බවත් අවම වශයෙන් වසරකට ඩොලර් 70,000ක් උපයන පිරිසට විසා දිගුකිරීම කල යුතු බවත් ඔවුන් පවසයි.
මේ ඔස්සේ 2030 වන විට ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර සිසුන් සහ උපාධිධාරීන් 140,000 ක් පමණ අඩු වනු ඇතැයි Grattan ආයතනය පුරෝකථනය කොට තිබේ.
මේ අතර, ඕස්ට්‍රේලියාවේ දීර්ඝ කලක් රැඳී සිටීම සඳහා වන නීති රීති අහෝසි කිරීම ඔස්සේ ඕස්ට්‍රේලියාවේ working holidaymaker වීසා සහිත පිරිස සීමා කල යුතු බවත් ඒ ඔස්සේ ඉදිරියේදී backpacker visa මත සිටින පුද්ගලයින් 25,000ක් පමණ අඩු වනු ඇති බවත් Grattan ආයතනය කියා සිටී.