ඔස්ට්‍රේලියාවේ වාසය කරන ශ්‍රී ලංකාවේ උපත ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 131,904 ක් ලෙස වාර්තා වේ.
ඔස්ට්‍රේලියාවේ 2021 වසරේදී සිදුකළ සංගණනයේ දත්ත මේ බව වාර්තා කරයි.
Highlights
- 2021 සංගණන දත්තවලට අනුව ඔස්ට්‍රේලියාවේ වාසය කරන ශ්‍රී ලංකාවේ උපත ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 131,904 කි.
- ඔස්ට්‍රේලියාවේ ඉංග්‍රීසි භාෂාවට අමතරව සිංහල භාෂාව කතා කරන පිරිස 85,869 ක් සිටින බව 2021 සංගණන දත්ත හෙළි කරයි.
- සිංහල භාෂාව කතා කරන පිරිසෙන් වැඩිම පිරිසක් වාර්තා වන්නේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් වන අතර එම පිරිස 49,501 කි.
ඔස්ට්‍රේලියාවේ සංගණන දත්ත සහ ඔස්ට්‍රේලියාවේ ලාංකික ප්‍රජාව
2021 සංගණනය ඔස්ට්‍රේලියාවේ මිලියන 25.5 කට ආසන්න ජනතාවක් සංගණනය කර තිබේ.
සංස්කෘතික විවිධත්වය, පවුල් සහ නිවාස ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් හරහා සහ කොවිඩ් වසංගතය අතරතුර ඔස්ට්‍රේලියාව වෙනස් වූ ආකාරය පිළිබඳ මෙම සංගණන දත්ත හරහා අවබෝධයක් සපයයි.
2021 සංගණන දත්තවලට අනුව ඔස්ට්‍රේලියාවේ වාසය කරන ශ්‍රී ලංකාවේ උපත ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 131,904 කි.
එයින් වැඩිම පිරිසක් අයත්වන්නේ වයස අවුරුදු 35 ත් 39 ත් අතර වයස් ඛාණ්ඩයටය.
එම ප්‍රමාණය 16,243 කි.
ඔස්ට්‍රේලියාවේ වාසය කරන වයස අවුරුදු 40 ත් 44 ත් අතර ශ්‍රී ලංකාවේ උපත ලැබූ පිරිස 14,298 ක් ලෙසත් වයස අවුරුදු 30 ත් 34 ත් අතර පිරිස 14,258 ක් ලෙසත් වාර්තා වේ.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
මේ අතර ඔස්ට්‍රේලියාවේ වාසය කරන ශ්‍රී ලංකාවේ උපත ලැබූ පුද්ගලයින්ගෙන් 88,004 ක් ඔස්ට්‍රේලියානු පුරවැසියන් බවත් 2021 සංගණන දත්ත හෙළිකරයි.
මේ අතර තවත් 43,318 ක් ඔස්ට්‍රේලියානු පුරවැසියන් නොවන බවත් 575 දෙනෙකු ඒ පිළිබඳ කිසිවක් සඳහන් කර නොමැති බවත් වාර්තා වේ.
2021 සංගණනයේදී ඔස්ට්‍රේලියාවේ වෙසෙන ශ්‍රී ලංකාවේ උපත ලැබූවන් වයස අනුව ඔස්ට්‍රේලියානු සංඛ්‍යාලේඛන කාර්යාංශය වාර්තා කර ඇත්තේ පහත අයුරිනි.
- වයස අවුරුදු 0 ත් 4 ත් අතර - 604
- වයස අවුරුදු 5 ත් 9 ත් අතර - 2,072
- වයස අවුරුදු 10 ත් 14 ත් අතර - 3,516
- වයස අවුරුදු 15 ත් 19 ත් අතර - 4,415
- වයස අවුරුදු 20 ත් 24 ත් අතර - 6,655
- වයස අවුරුදු 25 ත් 29 ත් අතර - 10,384
- වයස අවුරුදු 30 ත් 34 ත් අතර - 14,258
- වයස අවුරුදු 35 ත් 39 ත් අතර - 16,243
- වයස අවුරුදු 40 ත් 44 ත් අතර - 14,298
- වයස අවුරුදු 45 ත් 49 ත් අතර - 11,688
- වයස අවුරුදු 50 ත් 54 ත් අතර - 9,485
- වයස අවුරුදු 55 ත් 59 ත් අතර - 9,363
- වයස අවුරුදු 60 ත් 64 ත් අතර - 8,157
- වයස අවුරුදු 65 ත් 69 ත් අතර - 7,055
- වයස අවුරුදු 70 ත් 74 ත් අතර - 5,805
- වයස අවුරුදු 75 ත් 79 ත් අතර - 3,745
- වයස අවුරුදු 80 ත් 84 ත් අතර - 2,163
- වයස අවුරුදු 85 සහ ඉන් ඉහළට - 1,992

Census 2021 Source: SBS News
ඔස්ට්‍රේලියාවේ සිංහල භාෂාව කතා කරන පිරිස
ඔස්ට්‍රේලියාවේ ඉංග්‍රීසි භාෂාවට අමතරව සිංහල භාෂාව කතා කරන පිරිස 85,869 ක් සිටින බව 2021 සංගණන දත්ත හෙළි කරයි.
2016 වසරේදී එම සංඛ්‍යාව 64,612 ක් ලෙස වාර්තා විය.
ඒ අනුව මෙවර ඔස්ට්‍රේලියාවේ ඉංග්‍රීසි භාෂාවට අමතරව සිංහල භාෂාව කතා කරන පිරිස 21,257 කින් වැඩිවී තිබේ.
මෙවර සංගණනයට අනුව ඔස්ට්‍රේලියාවේ ඉංග්‍රීසි භාෂාවට අමතරව සිංහල භාෂාව කතා කරන පිරිසෙන් වැඩිම පිරිසක් වාර්තා වන්නේ වික්ටෝරියා ප්‍රාන්තයෙන් වන අතර එම පිරිස 49,501 කි.
2016 වසරේදී එම ප්‍රමාණය 37,423 කි.
ඔස්ට්‍රේලියාවේ සිංහල භාෂාව කතා කරන පිරිස ප්‍රාන්ත හා ටෙරිටරි අනුව පහත පරිදි වේ.
- වික්ටෝරියා ප්‍රාන්තය - 49,501
- නිව් සවුත් වේල්ස් ප්‍රාන්තය - 13,570
- ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය - 7,957
- බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තය - 6,340
- දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තය - 4,227
- Australian Capital Territory - 2,178
- ටස්මේනියා ප්‍රාන්තය - 1,114
- Northern Territory – 989

Source: SBS News
ඔස්ට්‍රේලියාවේ සමස්ත චිත්‍රය
ඔස්ට්‍රේලියානුවන්ගෙන් 48.2% කට විදේශයන්හි උපන් දෙමාපියන් සිටින අතර 27.6% ක් ඔස්ට්‍රේලියාවෙන් පිටත උපත ලබා ඇති බව 2021 සංගණන දත්ත පවසයි.
මේ අතර, ඉංග්‍රීසි භාෂාව හැර වෙනත් භාෂාවක් නිවසේ භාවිතා කරන පුද්ගලයින් සංඛ්‍යාව 800,000 කින් පමණ වැඩි වී ඇති අතර එය මිලියන 5.5 කට වඩා වැඩි වේ.
ඔස්ට්‍රේලියාව වඩාත් බහු සංස්කෘතික වෙමින් පවතින බව එම දත්ත මගින් පෙන්නුම් කරන අතර පසුගිය වසර 50 තුළ ඔස්ට්‍රේලියාවේ ජනගහනය දෙගුණ වී ඇති බවද එහිදී හෙළිවී ඇත.
පසුගිය වසර පහ තුළ, ඔස්ට්‍රේලියාවට විදේශ රටවල පදිංචිවී සිටි පුද්ගලයින් මිලියනයකට වඩා පැමිණ ඇත.
2020 මුල් භාගයේදී COVID-19 වසංගතය හේතුවෙන් ඔස්ට්‍රේලියානු දේශසීමා වසා දැමීමට පෙර එයින් අතිමහත් බහුතරයක් පැමිණ තිබේ.
ඔස්ට්‍රේලියාවෙන් පිටත උපන් රට අනුව සැලකීමේදී මෙවර විශාලතම වැඩිවීම ඉන්දියාව විසින් සටහන් කරයි.
ඒ අනුව ඉන්දියාව දැන් ඔස්ට්‍රේලියාවට සහ එංගලන්තයට පසුව සමස්තයක් වශයෙන් ඔස්ට්‍රේලියාවේ ජනතාව උපන් තුන්වන විශාලතම රට බවට පත්ව ඇත.
චීනය සහ නවසීලන්තය එම ලයිස්තුවේ දැන් ඉන්දියාවට පසුව තිබේ.
ඉංග්‍රීසි හැර නිවෙස්වල වැඩිපුරම කතා කරන අනෙක් භාෂාව ලෙස මැන්ඩරින් භාෂාව නොකඩවා පවතින බවද මෙවර සංගණන දත්ත පවසයි.
නමුත් පන්ජාබි භාෂාව කතා කරන පිරිස 2016 සිට විශාල වශයෙන් වැඩිවීමක් දක්නට ලැබේ.
පසුගිය දශකය තුළ ක්‍රිස්තියානි ධර්මය අදහන පිරිසේ සැලකිය යුතු අඩුවීමක් දක්නට ලැබීමත් සමඟ ආගම පිළිපැදීමේ සැලකිය යුතු වෙනසක් ද සිදු විය.
ඔස්ට්‍රේලියාවේ නිරාගමික යනුවෙන් වාර්තා කරන පුද්ගලයින් සංඛ්‍යාව 30% සිට 39% කට ආසන්න සංඛ්‍යාවක් දක්වා වැඩි වී තිබේ.