ඉකුත් සැප්තැම්බර් මාසයේ 01 වන දින සිට ඔස්ට්‍රේලියාවේ වසන්ත සෘතුව ආරම්භ විය.
සෑම වසරකම සැප්තැම්බර් 01 වන දින සිට නොවැම්බර් 30 දක්වා කාලය සාමාන්‍යයෙන් ඔස්ට්‍රේලියාවේ වසන්ත සෘතුව ලෙස සැළකේ.
ශීත සෘතුවෙන් පසුව පැමිණෙන වසන්ත සෘතුවේදී නැවතත් පරිසරය ආලෝකමත් වී උණුසුම් හිරු එළිය ලැබෙන්නට පටන්ගන්නා අතර ශීත කාලයේදී කොළ හැලුණු තුරු ලතා නැවත දළුලන්නට පටන් ගනී.
මුළු මහත් ස්වභාවධර්මයාම නැවත පිබිදෙන ඔස්ට්‍රේලියාවේ මෙම වසන්ත කාලය තුළ ඔබ දත යුතු ප්‍රධාන අංග 6 ක් පිළිබඳ මෙම ලිපියෙන් ඔබ වෙත ගෙන එයි.
01. Royal Melbourne Show.

Source: Flickr
කුඩා ළමුන් ඇතුළු පවුලේ සැමට විනෝද විය හැකි අයුරින් සංවිධානය කරන මෙම සැණකෙළියේ විනෝද ක්‍රීඩා, විවිධ ආහාර පාන, ඇඳුම් විලාසිතා, සත්ත්වයින් වැනි බොහෝ අංග දැකබලා ගත හැකිය.
මෙම වසරේ Royal Melbourne Show සැණකෙලිය පසුගිය සැප්තැම්බර් 23 වන දින ආරම්භවූ අතර එළඹෙන ඔක්තෝබර් 03 වන දින දක්වා Ascot Vale හි Melbourne Showgrounds හිදී පැවැත්වේ.
02. මල් සැණකෙළි. (Flower Festivals)
ඔස්ට්‍රේලියාවේ වසන්ත කාලය ආරම්භයත් සමග ප්‍රාන්ත කිහිපයකම පාහේ දැවැන්ත මල් ප්‍රදර්ශන සහ මල් සැණකෙළි පැවැත්වේ.
කැන්බරා හි වාර්ෂිකව පවත්වන Floriade මල් සැණකෙළිය සහ මෙල්බන් නුවර වාර්ෂිකව පවත්වන Tesselaar Tulip Festival මල් සැණකෙළිය, වසන්ත කාලයේදී ඔස්ට්‍රේලියාවේ පවත්වන දැවැන්තම මල් සැණකෙළි ද්විත්වය වේ.
Floriade මල් සැණකෙළිය

Source: AAP
සෑම වසරකම මිලියනයකට වඩා විවිධ වර්ග වල විවිධ වර්ණයන්ගෙන් යුත් පිපුණු මල් මෙහිදී ඔබට දැක බලා ගත හැකි වන අතර සංස්කෘතික සන්දර්ශන, ගෙවතු සහ උයන් වතු සම්බන්ධ වැඩ මුළු, ආහාර පාන සල්පිල් සහ සංගීත අංග වලින් මෙය සමන්විත වේ.
දැනට වාර්තා වන දත්ත වලට අනුව මෙය නැරඹීමට වාර්ෂිකව ලක්ෂ 5 කට ආසන්න පිරිසක් පැමිණෙයි.
මෙවර Floriade මල් සැණකෙළිය පසුගිය සැප්තැම්බර් 16 වන දින ආරම්භ වූ අතර එළඹෙන ඔක්තෝබර් 15 වන දින දක්වා පැවැත්වේ.
Tesselaar Tulip Festival

Source: Wikimedia
අක්කර 55 ක ගොවි පොළ භූමියක වර්ග 120 ක පමණ ටියුලිප් මල් වර්ග ඔබට මෙහිදී දැක බලා ගත හැකිවේ.
වාර්ෂිකව මිලියනයකට ආසන්න ටියුලිප් මල් සංඛ්‍යාවක් මෙම සැණකෙළියේදී ඔබට නැරඹිය හැකි අතර ටියුලිප් මල් වලට අමතරව විවිධ ක්‍රීඩා, සංස්කෘතික අංග, ආහාර පාන සහ විවිධ විනෝදාංග වලින් මෙම සැණකෙළිය සමන්විත වේ.
මෙවර Tesselaar Tulip Festival ඉකුත් සැප්තැම්බර් 14 වන දින ආරම්භ වූ අතර එළඹෙන ඔක්තෝබර් 15 වන දින දක්වා පැවැත්වේ.
03. AFL අවසාන මහා තරගය

Source: AAP
ඔස්ට්‍රේලියානු ක්‍රීඩා ක්ෂේත්රයේ දැවැන්තම අවසාන මහා තරගය වන මෙය සෑම වසරකම සැප්තැම්බර් මාසයේ අවසාන සෙනසුරාදා හෝ ඔක්තෝබර් මාසයේ පළමුවන සෙනසුරාදා මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී හෙවත් MCG හි පැවැත්වේ.
ලක්ෂයකට අසුන් ගත හැකි ප්රේක්ෂකාගාර පවතින මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගනය සෑම AFL අවසාන මහා තරගයකදීම එම අසුන් ලක්ෂයම පිරී යන බව සඳහන්.
මෙවර AFL අවසාන මහා තරගය සඳහා සුදුසුකම් ලැබුවේ Adelaide Crows සහ Richmond Tigers යන කණ්ඩායම් වේ.
එම කණ්ඩායම් ද්විත්වය තරගවදින 2017 AFL අවසාන මහා තරගය ඔස්ට්‍රේලියානු නැගෙනහිර සම්මත වේලාවෙන් හෙට (30/09) පස්වරු 2.30 ට ආරම්භ වේ.
04. Spring Racing Carnival සහ Melbourne Cup.

Source: AAP
තුරඟ තරග වලින් සහ ඇඳුම් විලාසිතා වලින් සමන්විත වූ මෙය Spring Racing Carnival ලෙස හැඳින්වේ.
Flemington, Caulfiled, Moonee valley, Cranbourne, Geelong, Bendigo, Sandown Park සහ Ballarat යන තුරඟ තරග පිටිවලදී පුරා මාස දෙකක් පැවැත්වෙන මෙම තුරඟ තරග ඔස්ට්‍රේලියාවේ සුප්‍රසිද්ධම තුරග තරග ලෙස වාර්තා වේ.
මෙම තරග නැරඹීමට පැමිණෙන කාන්තාවන් සහ පුරුෂයින් නොයෙක් වර්ගයේ ඇඳුම් පැළඳුම් වලින් සැරසී පැමිණෙන අතර විලාසිතා ප්‍රදර්ශනයක් ද ඊට සමගාමීව පැවැත්වේ.
Melbourne Cup

Source: AAP
සෑම වසරකම නොවැම්බර් මාසයේ පළමු අඟහරුවාදා පවත්වනු ලබන මෙම තරගය Flemington තුරඟ තරග පිටියේදී පැවැත්වේ.
‘Race that stops a nation’ හෙවත් “ඔස්ට්‍රේලියාවම මොහොතකට නතර කරවන තරගය” ලෙස විරුදාවලිය ලත් මෙම තරගය මෙම වසරේ නොවැම්බර් 07 වන දා අඟහරුවාදා Flemington තුරඟ තරග පිටියේදී පැවැත්වේ.
05. Hey Fever හෙවත් පරාග ආසාත්මිකතාව

Woman Blowing Her Nose Source: Moodboard
වසන්ත කාලය උදාවෙත්ම මල් හටගැනීමත් සමග පරාග බහුල වශයෙන් පරිසරයේ සැරිසරයි.
එම පරාග වලට අසාත්මිකතාවක් දක්වන උදවිය මේ රෝගී තත්ත්වයට ගොදුරු වෙයි.
මෙය පරාග නිසා පමණක් නොව දූවිලි සහ සතුන්ගේ රෝම නිසාද ඇතිවීමට ඉඩ ඇත.
එනිසා ඔස්ට්‍රේලියාවේ වසන්ත සමයේදී මේ රෝගී තත්ත්වය පිළිබඳ සැලකිල්ලෙන් සිටිය යුතු වේ.
06. උන සෙම්ප්‍රතිශ්‍යා රෝගය හෙවාත් ඉන්ෆ්ලුවන්සා රෝගය.

Unwell young man lies in bed while he blows his nose Source: SBS
මේ වසර තුලදී ඕස්ට්‍රේලියාව තුළ උන සෙම්පතිශ්‍යා රෝග අසාධනය වීමේ සිද්ධීන් 160,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී ඇති බව සදහන්.
මේ අතරින් සමහරක් සිද්ධීන් මාරාන්තික සිද්ධීන් බව වැඩි දුරටත් වාර්තා වෙයි.
පුද්ගලයින් 12 දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් පසු ගිය මාස කීපය තුල ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්වයන් හේතුවෙන් ජිවිතක්ෂයට පත් වූ බව වාර්තා විය.
*********************************************************************
!!! SBS සිංහල ගුවන් විදුලි වැඩසටහන !!!
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
සජීවීව රූපවාහිනියෙන් අසන්න - Channel 38 (ඕස්ට්‍රේලියාවේ පමණි )
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria / 97.7fm –NSW / 105.5fm – Canberra / 106.3fm – SA / 93.3fm – QLD / 96.9fm - WA
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
*********************************************************************