ඔස්ට්‍රේලියාව යළි තම දේශ සීමා විවෘත කරන විට ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික ප්‍රතිපත්තිය පිළිබඳව නැවත සිතා බැලිය යුතු බව Grattan ආයතනයේ නවතම වාර්තාවක් පෙන්වා දෙයි.
ඔස්ට්‍රේලියානු ආර්ථිකයට ප්‍රතිලාභ අත්කරදෙන සංක්‍රමණිකයින්ව වත්මන් සංක්‍රමණික ප්‍රතිපත්ති ඔස්සේ ඔස්ට්‍රේලියාව ආකර්ෂණය නොකරගන්නා බවට එම වාර්තාව පවසයි.
Highlights
- දුර්වල ඉංග්‍රීසි භාෂා කුසලතා ඇති වයස්ගත සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියාවට බාරගැනීම නතර කළ යුතු බවට Grattan ආයතනයේ නවතම වාර්තාවක් යෝජනා කර තිබේ.
- ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාර නව්‍යකරණයට ලක් කිරීමට, ආර්ථිකය වර්ධනය කිරීමට සහ වයස්ගත ජනගහනයේ වේගය මන්දගාමී කිරීමට අවශ්‍ය නම් එය ක්‍රියාත්මක කළ යුතු බව එම වාර්තාව පෙන්වා දෙයි.
- නිපුණතා සංක්‍රමණිකයින් සඳහා වන අනුග්‍රාහක ක්‍රියාවලිය සරල කිරීම සහ තරුණ, පුහුණු සංක්‍රමණිකයන් ඔස්ට්‍රේලියාවට බාරගැනීම මෙන්ම ඔවුන්ට ඉහළ වැටුප් ගෙවීම Grattan ආයතනය යෝජනා කරයි.
ඔස්ට්‍රේලියාවේ ජනගහනය සහ සංක්‍රමණිකයින්
2019-20 මුල්‍ය වර්ෂයේදී ඔස්ට්‍රේලියානු ජනගහනයට සංක්‍රමණිකයින් ලෙස 194,400 ක පිරිසක් එක්වූ බව Grattan ආයතනයේ මෙම වාර්තාව පෙන්වා දෙයි.
2020 මාර්තු දක්වා වූ මාසවලදී ඔස්ට්‍රේලියාවට නැවත පැමිණෙන ඔස්ට්‍රේලියානුවන් සහ කෙටිකාලීන අමුත්තන් ඇතුළුව සෑම මසකම මිලියන දෙකක් පමණ ජනතාව ඔස්ට්‍රේලියාවට පැමිණි බවද සඳහන්.
එතැන් පටන් ඔස්ට්‍රේලියාවට පැමිණ ඇත්තේ 260,000 කටත් වඩා අඩු පිරිසක් බවත් එය සාමාන්‍යයෙන් මසකට 23,000 ක් පමණ වන බවත් Grattan ආයතනය පවසයි.

Source: Getty Images - JohnnyGreig.jpg
Grattan ආයතනයේ වාර්තාව හෙළිකළ කරුණු
ඔස්ට්‍රේලියාවේ ව්‍යාපාර නව්‍යකරණයට ලක් කිරීමට, ආර්ථිකය වර්ධනය කිරීමට සහ වයස්ගත ජනගහනයේ වේගය මන්දගාමී කිරීමට අවශ්‍ය නම් දුර්වල ඉංග්‍රීසි භාෂා කුසලතා ඇති වයස්ගත සංක්‍රමණිකයින් ඔස්ට්‍රේලියාවට බාරගැනීම නතර කළ යුතු බවට Grattan ආයතනයේ මෙම වාර්තාව තර්ක කරන බව ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.
ඒ වෙනුවට නිපුණතා සංක්‍රමණිකයින් සඳහා වන අනුග්‍රාහක ක්‍රියාවලිය සරල කිරීම සහ තරුණ, පුහුණු සංක්‍රමණිකයන් ඔස්ට්‍රේලියාවට බාරගැනීම මෙන්ම ඔවුන්ට ඉහළ වැටුප් ගෙවීම Grattan ආයතනය යෝජනා කරයි.
ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික ප්‍රතිපත්ති සම්බන්ධයෙන් මෙය විශාල මෙන්ම ආන්දෝලනාත්මක සංශෝධනයකි.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
ඔස්ට්‍රේලියාවේ ස්ථිර සංක්‍රමණිකයින්
දෙවන ලෝක සංග්‍රාමයෙන් පසු ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ ක්‍රියාවලිය මහා පරිමාණයෙන් ක්‍රියාත්මක වීම ආරම්භ විය.
එතැන් සිට 1990 දශකය දක්වා ඔස්ට්‍රේලියාවට පැමිණෙන නව සංක්‍රමණිකයින්ට ස්ථිර වීසා බලපත්‍ර ලබා දෙන ලදී.
ඉන් පසුව ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබා දීම සීමා කෙරුණු අතර නව සංක්‍රමණික ප්‍රතිපත්ති හඳුන්වා දෙනු ලැබිණි.
ඒ අනුව ස්ථිර සංක්‍රමණිකයින්ට අමතරව තාවකාලික සංක්‍රමණිකයින් ද සීමාවක් නොමැතිව ගෙන්වා ගැනීමට ඔස්ට්‍රේලියාව කටයුතු කළේය.
එහිදී ඇතැම් රටවල සංක්‍රමණිකයින්ට පමණක් working holiday වීසා ලබා දී තාවකාලිකව ඔස්ට්‍රේලියාවේ පූර්ණ කාලීන රැකියා කිරීමටද අවස්ථව උදාකර දුන්නේය.
මේ හේතු නිසා ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාදීම ක්‍රමිකව අඩු විය.
ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය ලබාදෙන කෝටාව මේ වන විට වසරකට 160,000 කට සීමා කර තිබේ.
නමුත් එය මීට වසර දෙකකට පෙර පැවතියේ 190,000 ක් ලෙසය.
එම කෝටාවට අමතරව මානුෂීය වීසා ලබා දීමේ වැඩසටහන යටතේ වසරකට 13,750 ක පිරිසකට ඔස්ට්‍රේලියානු ස්ථිර වීසා ලබා දීමටද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය කටයුතු කර තිබේ.
මෙලෙස ඔස්ට්‍රේලියානු ස්ථිර පදිංචිය හිමි කරදෙන්නන් අතරින් වැඩි පිරිසක් අයත් වන්නේ skilled වීසා හිමි නිපුණතා සංක්‍රමණිකයින් හටය.
2020-21 මුල්‍ය වර්ෂයේදී ඔස්ට්‍රේලියාවේ නිපුණතා සංක්‍රමණික කෝටාව 79,600 ක් ලෙස වෙන් කර තිබේ.

Large Group of Diverse People with Different Occupations Source: Getty Images
Grattan ආයතනයේ නිර්දේශ
ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණික ප්‍රතිපත්ති සංශෝධනය කළ යුතු බවට පවසන Grattan ආයතනයේ මෙම වාර්තාව පහත සඳහන් නිර්දේශ ඉදිරිපත් කර ඇති බව ABC පුවත් වෙබ් අඩවිය වාර්තා කරයි.
- දැනට ක්‍රියාත්මක වන Business Investment and Innovation visa program හෙවත් ව්‍යාපාර ආයෝජන සහ නවෝත්පාදන වීසා වැඩසටහන අහෝසි කිරීම.
- Global Talent වීසා වැඩසටහන නැවත විශ්ලේෂණය කර ස්වාධීනව ඇගයීමට ලක් කිරීම.
- Occupation list හෙවත් රැකියා/වෘත්තීය ලැයිස්තු හරහා ලබාදෙන Temporary Skill Shortage වීසා මත ස්ථිර පුහුණු සේවක වීසා (permanent skilled worker visas) ලබා දීමෙන් වැළකීම.
- අවම වශයෙන් වසරකට ඩොලර් 80,000 ක් උපයන්නේ නම් employer-sponsored වීසා බලපත්‍ර සියලු රැකියා/වෘත්තීන් සඳහා ලබා දීම.
- තරුණ, පුහුණු සංක්‍රමණිකයින් වඩා හොඳින් තෝරා ගැනීම සඳහා points-tested ක්‍රමය යටතේ ස්ථිර වීසා ලබා දීම පිළිබඳ ස්වාධීන සමාලෝචනයක් කිරීම.
- Permanent skilled worker visa හෙවත් ස්ථිර පුහුණු සේවක වීසා බලපත්‍ර ලබා දීම වැඩි දියුණු කිරීම සහ ඒවායේ අයදුම්පත් සලකා බැලීමේ කාලය වේගවත් කිරීම සඳහා ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව අවධානය යොමු කිරීම.