ඔස්ට්‍රේලියාවේ බොහෝ ප්‍රාන්තවල මේ දිනවල කුඩා ළමුන් අතර Hand Foot and Mouth Disease නමැති රෝගය පැතිරෙන බවක් වාර්තා වේ.
මෙම රෝගය බොහෝ විට ඔස්ට්‍රේලියාවේ කුඩා ළමුන් අතර විශේෂයෙන්ම Childcare මධ්‍යස්ථාන වල දක්නට ලැබේ.
Hand Foot and Mouth Disease යනු කුමක්ද, මෙහි රෝග ලක්ෂණ මොනවාද සහ මෙයට ඇති ප්‍රතිකාර ක්‍රම මොනවාද යන්න පිළිබඳ මෙම ලිපියෙන් අපි ඔබට ඉදිරිපත් කරන්නෙමු.
Highlights
- Hand Foot and Mouth රෝගය Coxsackie නමැති වයිරසය හරහා වැළඳෙන රෝගයකි.
- එක් ළමයෙකුට එක් වතාවකට වඩා මෙම රෝගය වැළඳීමට හැකිය.
- මද උණ, තෙහෙට්ටු බව, නිදිබර බව, අත්වල, කකුලේ පතුල් වල සහ මුඛය ආශ්‍රිතව රතු පැහැති කුඩා බිබිලි ඇතිවීම මෙහි මූලික රෝග ලක්ෂණ වේ.
Hand Foot and Mouth Disease යනු කුමක්ද?
Hand Foot and Mouth රෝගය යනු වයස අවුරුදු 5 ට වඩා අඩු ළමුන්ට ඔස්ට්‍රේලියාවේ නිතර වැළඳෙන වයිරස් රෝගයකි.
Childcare මධ්‍යස්ථාන වල පෙර පාසල් වල සිටින ළමුන්ට මෙය බහුලව වැළඳීමේ සම්භාවිතාවක් තිබේ.
වැඩිහිටි ළමුන්ට ද මෙම රෝගය වැළඳිය හැකි නමුත් එම තත්ත්වය එතරම් දක්නට නොමැති බව ඩාවින් නුවර වෛද්‍ය නිර්මලා ගොඩවිතාරණ මහත්මිය SBS සිංහල ගුවන් විදුලියට පැවසුවාය.
මේ අතර එක් ළමයෙකුට එක් වතාවකට වඩා මෙම රෝගය වැළඳීමට හැකි බවද ඇය ප්‍රකාශ කළාය.
මෙහි රෝග ලක්ෂණ මොනවාද?
මෙම රෝගය වැළදී දින 3 ත් සතියත් අතර කාලයකදී මෙහි රෝග ලක්ෂණ පෙන්නුම් කරන බවත් සතියක් පමණ එම රෝග ලක්ෂණ පවතින බවත් වෛද්‍ය ගොඩවිතාරණ මහත්මිය SBS සිංහල ගුවන් විදුලියට පැවසුවාය.
Hand Foot and Mouth රෝගයේ රෝග ලක්ෂණ පහත ඒවා බව ඇය සඳහන් කළාය.
- මද උණ
- තෙහෙට්ටු බව
- නිදිබර බව
- අත්වල, කකුලේ පතුල් වල සහ මුඛය ආශ්‍රිතව රතු පැහැති කුඩා බිබිලි ඇතිවීම
- ඇතැම් විට තට්ටම් වල පවා මෙම බිබිලි දක්නට ලැබේ
- උගුරේ වේදනාව
- ආහාර අරුචිය

Source: AAP
මෙම රෝගය වැළඳීමට හේතු මොනවාද?
Hand Foot and Mouth රෝගය Coxsackie නමැති වයිරසය හරහා වැළඳෙන බව වෛද්‍ය ගොඩවිතාරණ මහත්මිය පැවසුවාය.
මෙම වයිරසය බඩවැල් හරහා ගමන් කරන අතර මළ පහ හරහා කාලයත් සමග පිටවන බවද ඇය සඳහන් කළාය.
නමුත් ළමුන්ට මෙම රෝගය බහුලව වැළඳෙන්නේ Childcare මධ්‍යස්ථාන වල ඉතා සමීපව අනෙක් රෝගය ඇති ළමුන් සිටින විට ඔවුන්ගේ සමග හරහා සහ අදාළ බිබිලි කැඩී පැමිණෙනා ශ්‍රාවය සමේ ගෑවීමෙන් බවද වෛද්‍ය ගොඩවිතාරණ මහත්මිය පැහැදිලි කළාය.
ඊට අමතරව සොටු දියර සහ කිවිසුම් හරහා ද මෙය බෝවිය හැකිය.
ළමුන් බහුලව එකතුවී සිටින ස්ථාන වල මෙය ඉතා ශීග්‍රයෙන් පැතිරීමට ඉඩ තිබේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
මෙය සුව වීමට ගත හැකි ප්‍රතිකාර මොනවාද?
මෙය වයිරස් රෝගයක් බැවින් මෙය සුව වීමට කියා දීමට තරමේ ඖෂධයක් නොමැති බව ඩාවින් නුවර වෛද්‍ය නිර්මලා ගොඩවිතාරණ මහත්මිය SBS සිංහල ගුවන් විදුලියට පැවසුවාය.
Antibiotics සාර්ථකව ක්‍රියා කරන්නේ බැක්ටීරියා වලින් වැළඳෙන රෝග සඳහා පමණි.
කෙසේ නමුත් Hand Foot and Mouth රෝගීන්ව ඉතා සමීපව මනාව අධීක්ෂණය කරන බව වෛද්‍ය ගොඩවිතාරණ මහත්මිය පැවසුවාය.
ඇතැම් ළමුන්ට මෙම රෝගය සුව වීමට දින 7 ක් 10 ක් අතර කාලයක් ගතවන බවද ඇය සඳහන් කළාය.
එනිසාම රෝග ලක්ෂණ අනුව ප්‍රතිකාර කිරීමක් මෙහිදී සිදුවන බව ඇය පැහැදිලි කළාය.
මෙම රෝගය බරපතල මට්ටමට ගියහොත් Antiviral වැනි ප්‍රතිකාර ක්‍රම ඉතා සුළුවෙන් භාවිතා කිරීමට හැකියාව තිබෙන බව ද වෛද්‍ය නිර්මලා ගොඩවිතාරණ මහත්මිය ප්‍රකාශ කළාය.