ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාගැනීමේ අයදුම්පත් ගාස්තුව වැඩි කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Alex Hawke ඊයේ (24/06) ඒ පිළිබඳව මාධ්‍ය නිවේදනයක් නිකුත් කළේය.
Highlights
- ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාගැනීමේ අයදුම්පත් ගාස්තුව ජූලි 01 සිට ඉහළ දැමීමට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
- මෙතෙක් $285 ක් ලෙස පවතින එම අයදුම්පත් ගාස්තුව 2021 ජූලි 01 වන දින සිට $490 ක් දක්වා ඉහළ දමනු ඇත.
- වසර 2016 න් පසුව ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාගැනීමේ අයදුම්පත් ගාස්තුව ඉහළ දැමූ ප්‍රථම අවස්ථාව ලෙසද මෙය හැඳින්වේ.
ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාගැනීමේ නව අයදුම්පත් ගාස්තුව
ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා දීමේ පිරිවැය වඩාත් නිවැරදිව පිළිබිඹු වන පරිදි 2021 ජූලි 1 වන දින සිට අදාළ අයදුම්පත් ගාස්තුව යාවත්කාලීන කිරීමේ අරමුණින් මෙම ගාස්තු වැඩි කිරීම සිදුකළ බව ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Alex Hawke ගේ නිවේදනයේ සඳහන්වේ.
ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාගැනීම සඳහා වැඩි වශයෙන් යොමුවන සංකීර්ණ අයදුම්පත් සලකා බැලීම මෙන්ම ඒ සඳහා වැඩි කාලයක් ගත කිරීමට සිදුවීම ඊට ප්‍රධාන හේතුව වී තිබේ.
ඒ අනුව මෙතෙක් $285 ක් ලෙස පවතින ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාගැනීමේ අයදුම්පත් ගාස්තුව එළඹෙන ජූලි 01 වන දින සිට $490 ක් දක්වා ඉහළ දමනු ඇත.
එය 72% ක වැඩි වීමකි.
වසර 2016 න් පසුව ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාගැනීමේ අයදුම්පත් ගාස්තුව ඉහළ දැමූ ප්‍රථම අවස්ථාව ලෙසද මෙය හැඳින්වේ.

Minister for Immigration Alex Hawke Source: AAP Image/Mick Tsikas
අනෙකුත් ප්‍රධාන රටවලට වඩා තවමත් ගාස්තු අඩුයි
දැනට පවත්නා ගාස්තු මත පදනම්ව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය විසින් අයකර ගනු ලබන්නේ පුරවැසි අයදුම්පත් සැකසීමේ පිරිවැයෙන් දළ වශයෙන් 50% ක් පමණ බව ආගමන කටයුතු පිළිබඳ අමාත්‍ය Alex Hawke ගේ නිවේදනයේ සඳහන්වේ.
ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබාගැනීම සඳහා වන අයදුම්පත් ගාස්තුව වෙනත් ප්‍රධාන රටවල පුරවැසිභාවය ලබාගැනීම සඳහා වන අයදුම්පත් ගාස්තු සමඟ සැසඳිය හැකි බවද ඔහු පැවසීය.
එක්සත් රාජධානිය, කැනඩාව සහ ඇමෙරිකාව සමග සසඳන කල ඔස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබාගැනීම සඳහා වන අයදුම්පත් ගාස්තුව තවමත් පහළ මට්ටමක පවතින බව ඔහු වැඩි දුරටත් පැහැදිලි කළේය.
එක්සත් රාජධානියේ පුරවැසිභාවය ලබාගැනීම සඳහා වන අයදුම්පත් ගාස්තුව සාමාන්‍යයෙන් බ්‍රිතාන්‍ය පවුම් 1,330 ක් පමණ වේ.
කැනඩාවේ එම ගාස්තුව කැනේඩියානු ඩොලර් 630 ක් වන අතර ඇමෙරිකාවේ එම ගාස්තුව ඇමෙරිකානු ඩොලර් 725 කි.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාගැනීමේ අයදුම්පත් සලකා බැලීම
2021 මැයි 01 සිට මැයි 31 දක්වා කාලය තුළ ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාගැනීම සඳහා වූ අයදුම්පත් 17,680 ක් ලැබී ඇති බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව පවසයි.
එමෙන්ම 2021 මැයි 31 දින වන විට ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුව සතුව ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාගැනීම සඳහා වූ අයදුම්පත් 140,097 ක් ඇති බවද ඔවුහු පවසති.
ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබාගැනීමේ අයදුම්පත් සලකා බැලීමට ගතවන කාලය ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු වෙබ් අඩවියේ දක්වා ඇත්තේ පහත අයුරිනි.

Source: Department of Home Affairs