ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් අලෙවි කරන ප්‍රධාන සමාගම් වල සිල්ලර මිල ගණන් අතර ලීටරයකට ඩොලර් ශත 9.5 ක වෙනසක් දැකිය හැකි බව Australian Competition and Consumer Commission හෙවත් ඔස්ට්‍රේලියානු තරගකාරී සහ පාරිභෝගික කොමිසම අනාවරණය කරයි.
ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් අලෙවිය පිළිබඳ ඔවුන් සිදු කළ නවතම සමීක්ෂණයේ වාර්තාවට අනුව ඔස්ට්‍රේලියාවේ වැඩිම මිලට පෙට්‍රල් අලෙවි කරන සමාගම ලෙස Coles Express හඳුන්වා දී තිබේ.
Woolworths ඇතුළු අනෙකුත් සමාගම් වල පෙට්‍රල් මිල ඊට වඩා පහළ අගයක් ගන්නා බවද එම වාර්තාව පෙන්වා දෙයි.
මේ අනුව සෑම කල්හිම පෙට්‍රල් ලබා ගැනීම සඳහා එකම ඉන්ධන පිරවුම් ස්ථානයකට යාම හේතුවෙන් ඔස්ට්‍රේලියානු වාසියෙකු හට පෙට්‍රල් ලීටරයකින් ඩොලර් ශත 10 ක සාමන්‍ය අලාභයක් සිදුවන බව මෙල්බන්, සිඩ්නි ඇතුළු ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර 5 ක් ආශ්‍රිතව සිදු කෙරුණු මෙම සමීක්ෂණය හරහා හෙළිවී තිබේ.

Source: AAP
මිල අඩුම පෙට්‍රල් කාගෙන්ද?
මෙල්බන් සහ බ්‍රිස්බන් හි United ද , සිඩ්නි නුවර Speedway ද, ඇඩිලේඩ් නුවර Liberty මෙන්ම පර්ත් නුවර Vibe ඒ ඒ නගරවල පෙට්‍රල් අඩු මිලට අලෙවි කරන සමාගම් ලෙස හඳුනාගෙන ඇත.
මේ අතර ඔස්ට්‍රේලියාවේ අඩුම පෙට්‍රල් මිල සහ වැඩිම පෙට්‍රල් මිල අතර ඇති පරතරය පසුගිය දශකය තුළ සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති බවද එම වාර්තාවෙන් හෙළිවී තිබේ.
2007 වසරේදී ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන නගර පහේ පෙට්‍රල් ලීටරයක මිලෙහි සාමාන්‍ය වෙනස ඩොලර් ශත 2.4 ක් වූ අතර 2017 වන විට එම අගය ඩොලර් ශත 6.3 ක් ලෙසට ඉහළ ගොස් ඇත.

Source: AAP
පාරිභෝගිකයින් කළ යුතු දේ
ඔස්ට්‍රේලියාවේ පෙට්‍රල් මිල පහළ දැමීමට අදාළ සමාගම් වෙත ඒත්තු ගැන්වීම සඳහා පාරිභෝගිකයින් එකම ඉන්ධන පිරවුම් සමාගමකින් පෙට්‍රල් ලබා නොගෙන විවධ සමාගම් වෙතින් පෙට්‍රල් ලබා ගැනීම කරන ලෙස ඔස්ට්‍රේලියානු තරගකාරී සහ පාරිභෝගික කොමිසමේ සභාපති Rod Sims පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටියි.
"සාමන්‍යයෙන් පාරිභෝගිකයින්ගෙන් බහුතරයක් පෙට්‍රල් ලබා ගැනීමට එකම ඉන්ධන පිරවුම්හලක් වෙත යාමට පුරුදුව තිබෙනවා. 2007 ට වඩා 2017 දී තමන් කුමන පෙට්‍රල් අලෙවි සමාගමකින් පෙට්‍රල් මිලට ගන්නවා ද යන්න තීරණය කිරීම අතිශය වැදගත්. ඉන්ධන අලෙවි කරන සමාගම් වල ඉන්ධන මිල ගණන් විවිධයි. ඔවුන් තමන් වෙත පාරිභෝගිකයින් ගෙන්වා ගැනීමට සහ හසු කරගැනීමට විවිධ උපක්‍රම යොදනවා." යනුවෙන් ඔස්ට්‍රේලියානු තරගකාරී සහ පාරිභෝගික කොමිසමේ සභාපති Rod Sims වැඩි දුරටත් පැවසුවේය.
අන්තර්ජාලය හරහා නිරතුරුවම අඩුම මිලට ඉන්ධන ලබා දෙන සමාගම් මොනවාදැයි පිරික්සා ඔවුන් වෙතින් එම සේවය ලබා ගැනීමෙන් පාරිභෝගිකයින් හට සැලකිය යුතු මුදලක් ඉතිරි කරගත හැකි බවද ඔහු පෙන්වා දෙයි.
--------------------------------------------------------------------------------------------------------
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සජීවීව රූපවාහිනියෙන් අසන්න- Channel 38
සජීවීව ගුවන් විදුලියෙන්, (ප්‍රාන්ත සඳහා fm තරංගමාලා)
93.1fm – Victoria
97.7fm –NSW
105.5fm – Canberra
106.3fm – SA
93.3fm – QLD
96.9fm – WA
සජීවීවහෝ පසුව අහන්න Mobile APP - SBS Radio APP (free download)
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
--------------------------------------------------------------------------------------------------------