ඔබේ ඇවිදීමේ වේගය කෙබඳුද? සාමාන්‍යයෙන් ඔබ සෙමින් ඇවිදින අයෙක්ද? නැතිනම් වේගයෙන් ඇවිදින අයෙක්ද?
“SBS සිංහල ගුවන් විදුලිය - සමස්ත ඔස්ට්‍රේලියාවටම ඇහෙන එකම සිංහල ගුවන් විදුලිය”
ඔබේ ඇවිදීමේ වේගය ඔබේ ආයු කාලයට ප්‍රබල ලෙස බලපාන බව නවතම සමීක්ෂණයකින් සොයාගෙන තිබේ.

Source: AAP
සෙමින් ඇවිදීමට වඩා වේගයෙන් ඇවිදීම ඔබව වැඩිකල් ජීවත් කරවයි
වේගයෙන් ඇවිදින පුද්ගලයින් සෙමින් ඇවිදින පුද්ගලයින්ට වඩා අවුරුදු 20 ක් වැඩිපුර ජීවත් වීමේ ප්‍රවණතාවක් දක්වන බව නවතම අධ්‍යනයකින් සොයාගෙන ඇත.
එංගලන්තයේ Leicester විශ්ව විද්‍යාලය විසින් සිදුකරන ලද මෙම සමීක්ෂණය සඳහා පුද්ගලයින් 474,919 ක්ව අධීක්ෂණය කර ඇත.
ඒ අනුව වේගයෙන් ඇවිදින පුද්ගලයින් ගේ ආයු කාලය සෙමින් ඇවිදින පුද්ගලයින්ගේ ආයු කාලයට වඩා වැඩි බව යන කරුණ අඩු ශරීර බරක් සහිත පුද්ගලයින්ගේ සිට ස්ථුල පුද්ගලයින් දක්වා විහිදෙන බවද එම සමීක්ෂණයේ සංවිධායකයින් පවසයි.
සෙමින් ඇවිදින අඩු බර සහිත පුද්ගලයින් ගේ ආයු කාලය සාපේක්ෂව අඩුම ආයු කාලයක් පෙන්වන බව එම සමීක්ෂණ දත්ත අනාවරණය කරයි.
ඒ අනුව සෙමින් ඇවිදින අඩු බර සහිත පිරිමියෙකුගේ සාමාන්‍ය ආයු කාලය වසර 64.8 ක් බවද සෙමින් ඇවිදින අඩු බර සහිත කාන්තාවකගේ සාමාන්‍ය ආයු කාලය වසර 72.4 ක් බවද එහිදී හෙළිවී ඇත.
Body mass index හෙවත් උසට සරිලන බරක් තිබීම යන සාධකයට වඩා ශරීර යෝග්‍යතාව (physical fitness) ආයු කාලයට ප්‍රබලව බලපාන බව මෙම නිරීක්ෂණ වලින් නිගමනය කිරීමට හැකි බව මෙම සමීක්ෂණයේ ප්‍රධාන කර්තෘ එංගලන්තයේ Leicester විශ්ව විද්‍යාලයේ Tom Yates පැවසීය.

Source: SBS
කඩිසරව ඇවිදීම
සාමාන්‍යයෙන් කඩිසරව ඇවිදින පුද්ගලයෙකු මිනිත්තුවකට පියවර 100 ක් පමණ තබන බව සෞඛ්‍ය විශේෂඥයෝ පවසති.
එය තවත් අන්දමකින් පැහැදිලි කළහොත් කඩිසරව ඇවිදින පුද්ගලයෙකු සාමාන්‍යයෙන් පැයකට සැතපුම් 3 ක පමණ වේගයකින් ඇවිදියි.
සෙමින් ඇවිදින පුද්ගලයින් සාමන්‍යයෙන් මිනිත්තුවකට පියවර 50 ක් පමණ තබන බව අනවාරණය වී ඇත.
එනම් ඔවුන් සාමාන්‍යයෙන් පැයකට සැතපුම් 1 ත් 2 ත් අතර පමණ වේගයකින් ඇවිදියි.
තම විශ්ව විද්‍යාලය විසින් සිදුකළ මෙම අධ්‍යනයට අනුව කඩිසරව ඇවිදීම පුද්ගලයින්ගේ ආයු කාලය වැඩි කරන නිසා සමස්ත මානව ප්‍රජාවම ඒ සම්බන්ධයෙන් දැනුවත් කළ යුතු බව සමීක්ෂණයේ ප්‍රධාන කර්තෘ එංගලන්තයේ Leicester විශ්ව විද්‍යාලයේ Tom Yates පැවසීය.
පසුගිය වසරේ Tom Yates සහ ඔහුගේ කණ්ඩායම ඇවිදීම සම්බන්ධ තවත් සමීක්ෂණයක් සිදුකළ අතර එහිදී සොයාගැනුනේ සෙමින් ඇවිදින මැදි වියෙහි පුද්ගලයින්ට හෘදය සම්බන්ධ රෝග ඇතිවීමේ වැඩි අවදානමක් තිබෙන බවය.

Source: Getty Images
කඩිසරව ඇවිදීම සහ පාපැදි පැදීම හදවත් රෝග වළකයි
Tom Yates සහ ඔහුගේ කණ්ඩායම විසින් සිදුකළ සමීක්ෂණයට අමතරව ඩෙන්මාර්කයේ කෝපන්හේගන් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් ද කඩිසරව ඇවිදීම සහ පාපැදි පැදීම මගින් මිනිස් සිරුරට ලැබෙන ප්‍රතිලාභ පිළිබඳ පර්යේෂණයක් පසුගිය වසරේදී සිදුකර තිබුණි.
කඩිසරව ඇවිදීම සහ පාපැදි පැදීම හේතුවෙන් හෘදයාබාධ, ආඝාතය, බොහෝ පිළිකා මෙන්ම ස්ථුලතාව යන රෝගී තත්ත්ව ඇතිවීම වළක්‌වන බව එහිදී අනාවරණය වී තිබේ.
වේගයෙන් ඇවිදීම හා පාපැදි පැදීම යන තත්ත්වයන් හා රෝග අතර සම්බන්ධතාවය පිළිබඳව සිදු කෙරුණු ප්‍රථම අධ්‍යයනය ලෙස ද මෙය සැළකෙයි.

Source: SBS Sinhala