වික්ටෝරියානු ප්‍රාන්තයේ කොරෝනා නීති තවත් ලිහිල් කරයි
වික්ටෝරියානු ප්‍රාන්තයේ දැනට පනවා ඇති කොරෝනා නීති අද (17/06) මධ්‍යම රාත්‍රියේ සිට තවදුරටත් ලිහිල් කිරීමට වික්ටෝරියානු ප්‍රාන්ත රජය ඊයේ තීරණය කළා.
ඒ අනුව හෙට (18/06) සිට මෙල්බර්න් ඇතුළු වික්ටෝරියා ප්‍රාන්ත වැසියන්ට තම නිවසින් බැහැරව එළිමහන් ස්ථාන වලදී මුව ආවරණ පැළඳීම අනිවාර්ය වන්නේ නැහැ.
නමුත් වෙනත් ගෘහස්ථ ස්ථානයකදී මුව ආවරණ පැළඳිය යුතු බව සඳහන්.
එමෙන්ම හෙට සිට මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ වැසියන්ට ඕනෑම හේතුවක් උදෙසා නිවසින් බැහැරව යා හැකි අතර මෙතෙක් පැවති කිලෝ මීටර් 25 උපරිම දුර සීමාව ද ඉවත් කෙරෙනවා.
මේ අතර මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපය සහ වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප අතර සංචරණයට ද හෙට සිට අවසර ලබා දී තිබෙනවා.
තමන්ගේ දරුවන් සමග වැඩිහිටියන් දෙදෙනෙකුට එක් දිනකදී අමුත්තන් ලෙස මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ නිවසකට හෙට සිට යා හැකි වනවා.
වික්ටෝරියානු ප්‍රාන්තයට ශීත සෘතුව උදාවී ඇති නිසාවෙන් කොරෝනා රෝග ලක්ෂණ මද වශයෙන් තිබුණ විටදී පවා කොරෝනා පරීක්ෂාවක් සිදුකරගන්නා ලෙස වික්ටෝරියානු ප්‍රාන්තයේ වැඩ බලන ප්‍රාන්ත අගමැති James Merlino සියලු වික්ටෝරියානු වැසියන්ගෙන් ඉල්ලා සිටියා.
හෙට (18/06) සිට මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපය සහ වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප අතර සංචරණයට අවසර ලැබෙන නමුත් හිම බැලීම සහ හිම ක්‍රීඩා කිරීම සඳහා අදාළ ප්‍රාදේශීය ප්‍රදේශ වෙත යනවානම් යම් සීමාවන් පනවා තිබෙනවා.

Acting Victorian Premier James Merlino Source: AAP Image/James Ross
ඒ අනුව හිම බැලීම සහ හිම ක්‍රීඩා කිරීම සඳහා මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයෙන් අදාළ ප්‍රාදේශීය ප්‍රදේශ සඳහා පිටවීමට පැය 72 කට පෙර කොරෝනා පරීක්ෂණයක් සිදු කර එහි ප්‍රතිඵලය ඍණාත්මක විය යුතු වනවා.
මෙම සීමාවට වයස අවුරුදු දෙකට අඩු ළමුන් ඇතුළත් වන්නේ නැහැ.
වික්ටෝරියානු ප්‍රාදේශීය කලාපයට පනවා ඇති කොරෝනා නීතිද හෙට සිට තවත් ලිහිල් කර තිබෙනවා.
අඟහරුවාදා දිනයේදී සිදුකළ කොරෝනා පරීක්ෂණ හරහා අලුතින් කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකු වාර්තා වූ බව ඊයේ උදෑසන සඳහන් වුණා.
කොරෝනා එන්නත් ලබා ගත හැකි සියලු දෙනා තම එන්නත් මාත්‍රා ලබා ගැනීමෙන් මෙම කොරෝනා නීති අවම මට්ටමක පවත්වාගෙන යා හැකි බව වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී Brett Sutton පැවසුවා.
කොරෝනා එන්නත පිළිබඳ තවමත් ගැටළු ඇති පුද්ගලයින්ට විශ්වාසදායක මූලාශ්‍ර හරහා ඒ පිළිබඳ සත්‍ය තොරතුරු දැනගන්නා ලෙසද ඔහු ඉල්ලා සිටියා.
කොරෝනා වයිරසය පැතිරීම අවම කිරීම සඳහා හැකි සෑම විටම නිවසේ සිට රාජකාරි කිරීමට මෙල්බර්න් ජනතාව දිරිමත් කරනු ලබනවා.
Fran Fitzgerald විසින් මෙල්බර්න් South Bank හි East by West Cafe නමින් ආපන ශාලාවක් පවත්වාගෙන යනවා.
මෙල්බර්න් නගරයේ සේවා ස්ථාන වල සේවකයින් නිවසේ සිට රාජකාරී කටයුතු කිරීම නිසා මෙල්බර්න් නගරයට පැමිණෙන පිරිස අඩුවී ඇති බවත් එය තම ව්‍යාපාරයට බෙහෙවින් බලපා ඇති බවත් ඇය පැවසුවා.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
සිඩ්නි නුවරට යළිත් කොරෝනා බියක්
ජාත්‍යන්තර ගුවන් ගමන් කාර්ය මණ්ඩලය ප්‍රවාහනය කරන සිඩ්නි නුවර රියදුරෙකු හට COVID-19 වයිරසය වැළදී ඇති බවට තහවුරු වී තිබෙනවා.
වයස අවුරුදු 60 ක් වන අදාළ පුද්ගලයා අඟහරුවාදා දිනයේදී කොරෝනා පරීක්ෂාවක් සිදුකර ඇති අතර එහි ප්‍රතිඵලය ධනාත්මක බවට ඊයේ වාර්තා වුණා.
අදාළ පුද්ගලයා නැගෙනහිර සිඩ්නි කලාපයේ ස්ථාන කිහිපයකටම ගොස් ඇති බව නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය බලධාරීන් පවසනවා.
පසුගිය ඉරිදා Bondi Junction Event සිනමා ශාලාවේ පස්වරු 1.45 ට තිරගතවූ Hitman's Wife's Bodyguard චිත්‍රපටය නැරඹීමට ද ඔහු ගොස් ඇති බව වාර්තා වනවා.
ඒ අනුව එම වේලාවේදී එම චිත්‍රපටය නැරඹීමට ගොස් සිටි සියලු දෙනා වහාම කොරෝනා පරීක්ෂාවක් සිදුකර ප්‍රතිඵලය කුමක් වුවත් දින 14 ක් නිරෝධායනය වන ලෙස නිව් සවුත් වේල්ස් සෞඛ්‍ය බලධාරීන් දන්වා සිටිනවා.
ඊට අමතරව අදාළ ආසාදිතයා ආ ගිය තවත් ස්ථාන New South Wales Health වෙබ් අඩවියේ සඳහන් කර තිබෙනවා.
එම ලැයිස්තුවේ Vaucluse සහ North Ryde ප්‍රදේශද ඇතුළත් බව සඳහන්.
හෝටල් නිරෝධායනය වීමේ කාලය අතරතුරේ විදෙස් රටවල සිට ඔස්ට්‍රේලියාවට පැමිණි ඇතැම් සංචාරකයින් අතර COVID-19 වයිරසය ව්‍යාප්ත වූයේ කෙසේදැයි New South Wales Health විසින් මේ වන විට සොයා බලමින් සිටිනවා.
විදෙස් රටවල සිට ඔස්ට්‍රේලියාවට පැමිණ හෝටල් නිරෝධායනය වෙමින සිටින යුවලක් සහ තවත් පුද්ගලයෙකු අතර COVID-19 වයිරසය සම්ප්‍රේෂණය වී ඇති බවත් එය සිදුවුයේ කෙසේදැයි අපැහැදිලි බවත් ඔවුන් පවසනවා.
ඔවුන් Radisson Blu හෝටලයේ එකම මහලේ කාමර වල සිටි බව සඳහන්.
ඔවුන් තිදෙනාම Doha සිට සිඩ්නි දක්වා ජුනි 01 වන දින එකම ගුවන් යානයෙන් පැමිණ ඇති අතර හොටාල්යේ යාබද කාමරවල නැවතී සිටි බව වාර්තා වනවා.
සෞඛ්‍ය විශේෂඥයින් සිදුකළ ජානමය අනුක්‍රමණය පෙන්නුම් කරන්නේ තිදෙනාටම එකම වයිරස ප්‍රභේදයක් ඇති බවයි.
මේ වන විට ඔවුන් තිදෙනා වෙනමම ස්ථානයකට මාරු කර තිබෙනවා.
ඔවුන්ට වයිරසය සම්ප්‍රේෂණය වූයේ කෙසේදැයි සොයා බලමින් සිටින බව නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත අගමැතිනී Gladys Berejiklian පවසා සිටියා.