Highlights
- ඇතැම් ප්‍රධාන සෞඛ්‍ය අංශවල, මානසික සෞඛ්‍ය සේවාවල මෙන්ම ඔස්ට්‍රේලියානු කාලගුණ කාර්යාංශයේ Facebook පිටු ද Facebook සමාගම විසින් අවහිර කර තිබුණි.
- මෙම Facebook තහනම පිළිබඳ Facebook සමාගම විසින් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට කිසිදු පූර්ව අනතුරු ඇඟවීමක් සිදු කර නොමැත.
- Facebook පිළිබඳ රජයේ ස්ථාවරය තවමත් නොවෙනස්ව පවතින බව භාණ්ඩාගාරික අමාත්‍යවරයා පවසයි.
ඔස්ට්‍රේලියානු ප්රවෘත්ති වලට එරෙහිව Facebook සමාගම ගත් ක්‍රියාමාර්ග එහි කීර්ති නාමයට හානි කරන බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg පවසයි.
ඔස්ට්‍රේලියාවේ ප්රවෘත්ති Facebook ඔස්සේ share කරගැනීම Facebook සමාගම විසින් අද (18/02) උදෑසන සිට අවහිර කිරීම සම්බන්ධව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්ථාවරය පැවසීමට අද මධ්‍යහනයේ පැවති විශේෂ මාධ්‍ය හමුවේදී ඔහු මේ බව පැවසීය.
ඩිජිටල් දැවැන්තයින් ගේ ඉමහත් බලය පෙන්වීමක්
ඔස්ට්‍රේලියානු ප්රවෘත්ති වලට පැනවූ Facebook තහනම මගින් ඩිජිටල් දැවැන්තයින් ගේ ඉමහත් බලය පෙන්නුම් කර ඇති බව භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg පැවසීය.
"Facebook වැරදියි, Facebook ගත් ක්‍රියාමාර්ගය අනවශ්‍ය එකක්, ඔවුන් දැඩි ලෙස හැසිරුණා" යනුවෙන් ද අමාත්‍ය Frydenberg, Facebook තහනම පිළිබඳ තම අදහස් පළ කළේය.
ඔස්ට්‍රේලියානු ප්රවෘත්ති ආයතන වල Facebook පිටු පමණක් නොව ඇතැම් ප්‍රධාන සෞඛ්‍ය අංශවල, මානසික සෞඛ්‍ය සේවාවල මෙන්ම ඔස්ට්‍රේලියානු කාලගුණ කාර්යාංශයේ Facebook පිටු ද Facebook සමාගම විසින් අවහිර කර තිබේ.
එම Facebook පිටු කිසිසේත්ම ප්රවෘත්ති වලට කිසිදු සම්බන්ධයක් නොදක්වන බවද අමාත්‍ය Frydenberg ප්‍රකාශ කළේය.

Treasurer Josh Frydenberg Source: AAP
ඔස්ට්‍රේලියානු ප්රවෘත්ති වලට Facebook ගෙවිය යුතුයි
ඔස්ට්‍රේලියානු ප්රවෘත්ති Facebook හා Google ඔස්සේ පළ කිරීමේදී අදාළ ඔස්ට්‍රේලියානු ප්රවෘත්ති ආයතන වලට ගෙවිය යුතු බවට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය Facebook හා Google සමාගම් වෙත පසුගිය වසරේදී දැනුම් දීමක් සිදු කළේය.
එම දැනුම් දීමට ප්‍රතිචාරයක් ලෙස මෙම පියවර ගත් බව Facebook සමාගම පවසයි.
ඒ සඳහා යම් ආචාර ධර්ම පද්ධතියක් රජය් විසින් සකසා එය පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමෙන් අනතුරුව Facebook හා Google සමාගම් වෙත දැනුම් දීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය සූදානම් වී සිටි බව වාර්තා වේ.
කෙසේහෝ අදාළ ආචාර ධර්ම පද්ධතිය තවමත් ඔස්ට්‍රේලියාවේ සෙනට් සභාවේ අනුමැතිය ලැබීමට ඉදිරිපත් කර නොමැති බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg පැවසීය.
SBS සිංහල සේවය
ගුවන් විදුලියෙන් - 93.1 fm VIC / 97.7 fm NSW
නැතිනම් රූපවාහිනියේ channel 38
නීති සම්පාදනය හා ක්‍රියාත්මක කිරීම සඳහා රජය කැපවී සිටින බව අමාත්‍ය Frydenberg එහිදී පැවසීය.
ඊයේ (17/02) මෙම යෝජිත ආචාර ධර්ම පද්ධතිය ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රණ සභාවට ගෙන ආ බවත් ඒ නිසාම අද දිනයේ මෙම තහනම පැනවීමට ඔවුන් කටයුතු කර ඇති බවත් තමන් විශ්වාස කරන බවද ඔහු වැඩි දුරටත් ප්‍රකාශ කළේය.
"මෙම නව මාධ්‍ය කේවල් කිරීමේ ආචාර ධර්ම ඉතා වැදගත් ක්ෂුද්‍ර ආර්ථික ප්රතිසංස්කරණයක්" යනුවෙන් ඔහු පැවසීය.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා
SBS Radio APP එකෙන් (Free download)
කිසිදු අනතුරු ඇඟවීමක් ලබා දුන්නේ නැහැ
ඔස්ට්‍රේලියානු ප්රවෘත්ති වලට පැනවූ Facebook තහනම පිළිබඳ Facebook සමාගම විසින් ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට කිසිදු පූර්ව අනතුරු ඇඟවීමක් සිදු නොකළ බව ද අමාත්‍ය Frydenberg සඳහන් කළේය.
Facebook සහ Google ප්‍රධානීන් ඔස්ට්‍රේලියාවේ මෙම මාධ්‍ය ආචාර ධර්ම සමඟ මෙතරම් සම්බන්ධ වීමට හේතුව එය ගෝලීය වශයෙන් ඇති කරවන පූර්වාදර්ශය බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
Facebook පිළිබඳ රජයේ ස්ථාවරය තවමත් නොවෙනස්ව පවතින බවත් අගමැතිවරයා ද ඔවුන්ගේ තර්ජන වලට බිය නොවුණු බවද ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ සන්නිවේදන කටයුතු පිළිබඳ අමාත්‍ය Paul Fletcher පැවසීය.
"ඔස්ට්‍රේලියානු රජය නීති සම්පාදනය කරන්නේ ඔස්ට්‍රේලියානුවන් ගේ යහපත උදෙසායි, භෞතික ලෝකයේ නීති රීති අනුකරණය කිරීමට ඩිජිටල් ලෝකයේ නීති අපට අවශ්‍යයි. එනිසා අපි අපේ ආචාර ධර්මවලට ඇලී සිටීමට තීරණය කළා." යනුවෙන් භාණ්ඩාගාරික අමාත්‍ය Josh Frydenberg පැවසීය.

Source: Pixabay
ප්රවෘත්ති නොවන Facebook පිටු ද අවහිර කරයි
ඔස්ට්‍රේලියාවේ ප්රවෘත්ති නොවන Facebook පිටු ද අවහිර කිරීමට Facebook සමාගම පියවර ගෙන තිබේ.
මෙම පියවර ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය දැඩි ලෙස හෙළා දැක තිබේ.
එමෙන්ම මෙම තහනමේ කොටසක් ලෙස Facebook හි පිටුව පවා අවහිර කර ඇති බවක් පෙනෙන්නට තිබුණි.
එමෙන්ම අද උදෑසන අවහිර කර ඇති නිල රාජ්‍ය සේවාවන් ගේ Facebook පිටු අතරට පහත ඒවා අඩංගු වූ බව වාර්තා වේ.
- Bureau of Meteorology
- Western Australia’s Department of Fire and Emergency Services
- Western Sydney Health
- South Australia Health
- Queensland Health
Bureau of Meteorology හෙවත් ඔස්ට්‍රේලියානු කාලගුණ විද්‍යා කාර්යාංශය Facebook ගිණුම් 910,000 කට කාලගුණ තොරතුරු සපයනු ලබයි. නමුත් මේ වන විට Bureau of Meteorology Facebook පිටුව යථා තත්ත්වයට පත්කොට ඇත.

Source: SBS News
SBS මාධ්‍ය ජාලයටත් බලපෑම්
ඔස්ට්‍රේලියානු ප්රවෘත්ති වලට පැනවූ Facebook තහනම ස්බ්ස් මාධ්‍ය ජාලයේ SBS News සහ SBS සිංහල ඇතුළු අනෙකුත් භාෂාවල SBS Facebook පිටු වලටද බලපා ඇත.
එහි ප්‍රතිඵලයක් ලෙස ඔබට SBS සිංහල ගුවන් විදුලියේ ප්රවෘත්ති හා අනෙකුත් විශේෂාංග SBS සිංහල Facebook පිටුව ඔස්සේ බැලීමට ඔබට නොහැකි වනු ඇත.
එනිසා යන අපගේ වෙබ් අඩවියට ගොස් අපගේ සියලුම ප්රවෘත්ති හා විශේෂාංග නැරඹිය හැකිය.
එමෙන්ම SBS සිංහල ගුවන් විදුලියේ සියලුම podcast මෙම link එක හරහා නොමිලයේ ශ්‍රවණය කළ හැකිය.
ඔබට SBS Radio app එකෙන් ද SBS සිංහල ගුවන් විදුලිය හා සම්බන්ධ විය හැකිය.