වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වල නිවාස කුලිය ඉහළ ගොස් ඇති හෙයින් නිවාස කුලී පිරිවැය අර්බුදකාරී අවස්ථාවකට පැමිණ තිබේ.
මේ අතර මෙල්බර්න් කලාපයේ නිවාස කුලිය පෙර වසර වලට සාපේක්ෂව අඩු මට්ටමක ඇති බවද වාර්තා වේ.
Highlights
- මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ නිවාස කුලියට සාපේක්ෂව වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වල නිවාස කුලිය පසුගිය සමයේදී සාපේක්ෂව ඉහළ ගොස් තිබේ.
- එක් වරකට වික්ටෝරියානු ප්‍රාදේශීය කලාපයේ එක් නිවසකට කුලී නිවැසි අයදුම්පත් 100 කට ආසන්න සංඛ්‍යාවක් ලැබෙන බව සඳහන්.
- වික්ටෝරියානු ප්‍රාදේශීය කලාපයක වැඩියෙන්ම නිවාස කුලිය ඉහළ ගොස් ඇත්තේ Alpine නගර සභා කලාපයේ ය.
වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වල නිවාස කුලිය
වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වල ඇතැම් නිවාසවල කුලිය 25% කින් පමණ ඉහළ ගොස් ඇති බව ඔස්ට්‍රේලියාවේ නිවාස හා දේපළ වෙළෙඳාම් ක්ෂේත්‍රය හා සම්බන්ධ ප්‍රධානතම වෙබ් අඩවියක් වන Domain හි නවතම වාර්තාවක් පෙන්වා දෙයි.
එමෙන්ම එක් වරකට එක් නිවසකට කුලී නිවැසි අයදුම්පත් 100 කට ආසන්න සංඛ්‍යාවක් ලැබෙන බවද ඔවුහු වාර්තා කරති.
මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයට අයත් නගර සභා සීමා 34 කුලී නිවසක කුලිය පසුගිය වසරේ මාර්තු මාසයේ සිට ඉහළ ගොස් ඇත්තේ සතියකට $10 ක මාධ්‍යන අගයකිනි.
නමුත් Domain හි නවතම දත්ත පෙන්වා දෙන අන්දමට වික්ටෝරියානු ප්‍රාදේශීය කලාපයේ Alpine Shireප්‍රදේශයේ එම අගය $90 කි.

Source: AAP
වික්ටෝරියානු ප්‍රාදේශීය කලාප වල ඉහළම නිවාස කුලියක් ඇති නගර
Alpine කලාපයේ ඇති Bright සහ Myrtleford යන නගර වල නිවාස කුලිය 25.7% කින් ඉහළ ගොස් ඇති අතර වික්ටෝරියානු ප්‍රාදේශීය කලාපයක වැඩියෙන්ම නිවාස කුලිය ඉහළ ගොස් ඇත්තේද මෙහිය.
සතියකට කුලිය $350 ක් වූ මෙහි වර්තමානය වන විට කුලිය සතියකට $440 ක් පමණ වේ.
මෙම ලයිස්තුවේ දෙවැනි ස්ථානයට ඇත්තේ South Gippsland කලාපයේ Leongatha සහ Mirboo North යන නගර දැක්වේ.
16.7% කින් ඒවායේ නිවාස කුලිය ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
සතියකට $300 තිබුණු නිවාස කුලිය මේ වන විට $350 කි.
එමෙන්ම Wangaratta කලාපයේ නිවාස කුලිය 15.6% කින් සතියකට $370 ට වැඩිවී ඇත.
මේ අතර වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාපයේ ප්‍රධානතම නගරයක් වන Bendigo හි පසුගිය මාර්තු මාසයට සාපේක්‍ෂව නිවාස කුලිය 8.8% කින් ඉහළ ගොස් තිබේ.
එමෙන්ම Ballarat හි 2.9% කින් ඉහළ ගොස් ඇත.
වික්ටෝරියා ප්‍රාදේශීය කලාප වල නිවාස කුලිය විශාල ලෙස ඉහළ ගිය නගර සභා කලාප 10 පහත පරිදි වේ.

Top 10 regional Victorian rent rises Source: SBS Sinhala
වික්ටෝරියා ප්‍රාදේශීය කලාපයේ නිවාස කුලිය ඉහළ යාමට හේතු
කොරෝනා වසංගතය අතරේ මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ විසූ වැසියන් වික්ටෝරියා ප්‍රාදේශීය කලාපයට පදිංචියට යාම මීට ප්‍රධාතම හේතුව වී තිබේ.
මෙල්බර්න් මෙට්‍රොපොලිටන් කලාපයේ කරමින් සිටින රැකියාව තිබියදී අදාළ පුද්ගලයින්ට වික්ටෝරියා ප්‍රාදේශීය කලාපයට පදිංචියට යාමක් සිදු වුවහොත් ඔවුන්ට ප්‍රාදේශීය කලාපවල නිවාස කුලී මුදල පහසුවෙන් දැරිය හැකිවන බව Domain වෙබ් අඩවිය පවසයි.
නිවාස කුලිය වේගයෙන් ඉහළ යන බව එයින් අදහස් කෙරේ.
SBS සිංහල සේවය සතියේ දින 4 ක් ඔබ හමුවට
සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
SBS Radio APP එකෙන් (Free download)
වික්ටෝරියා ප්‍රාදේශීය කලාප වල ජීවත්වන කුලී නිවැසියන්ට ඉහළ කුලිය නිසා තම ස්ථාන වලින් දුරකට යාමට හෝ දැරිය හැකි මට්ටමේ නිවාස වෙතට පදිංචිය මාරු කිරීමට හෝ මේ අනුව සිදුවේ.
කෙසේවෙතත්, මෙම කුලී නිවාස වල මිල ඉහළ යාම කෙටි කාලීන බව Westpac බැංකුවේ ජ්‍යෙෂ්ඨ ආර්ථික විද්‍යාඥ Matthew Hassan පැවසීය.
ඔස්ට්‍රේලියානුවාසීන්ට කොරෝනා එන්නත ලබාදීමෙන් පසුව මෙම තත්ත්වය ආපසු හැරීමේ ඉහළ සම්භාවිතාවක් පවතින බව ද ඔහු පෙන්වා දුන්නේය.