පසුගිය සෙනසුරාදා (18/05) පැවති ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයෙන් ආන්දෝලනාත්මක One Nation පක්ෂයට ලැබුණු ඡන්ද ප්‍රමාණය ඉහළ ගොස් තිබේ.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
One Nation පක්ෂයේ නිජ භූමිය ලෙස සැලකෙන ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ පමණක් නොව මෙවර මැතිවරණයේදී සමස්ත ඔස්ට්‍රේලියාවේම One Nation පක්ෂයට ලැබුණු ඡන්ද ප්‍රමාණය වැඩිවීම සුවිශේෂී සිදුවීමකි.

One Nation Source: AAP
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ One Nation ඡන්ද වැඩි වීම
මෙවර ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයේදී මේ වන විට සමස්ත ඔස්ට්‍රේලියාවෙන්ම ඡන්ද 353,527 (3.0%) ක් ලබාගැනීමට One Nation පක්ෂය සමත්වී තිබේ.
එහිදී ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් පමණක් ඔවුන්ට ඡන්ද 200,892 ක් හිමිවිය.
එය ප්‍රතිශතයක් ලෙස ගත් කළ 8.7% කි.
ඒ අනුව මෙවර මැතිවරණයේදී ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ One Nation ඡන්ද 3.2% කින් වැඩිවී ඇතැයි සඳහන්.
2016 වසරේදී පැවති ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයේදී ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය තුළ One Nation පක්ෂය 5.52% ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගත්තේය.

Source: AAP
සමස්ත ඔස්ට්‍රේලියාවේම One Nation ඡන්ද ඉහළ යයි
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයට අමතරව සමස්ත ඔස්ට්‍රේලියාවේම One Nation ඡන්ද ඉහළ ගොස් තිබේ.
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයෙන් පමණක් One Nation පක්ෂය ඡන්ද 200,892 ක් හිමිකරගන්නා විට නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයෙන් ඡන්ද 50,547 ක් හිමිකර ගැනීමට ඔවුන් සමත්වී තිබේ.
එය 2016 වසර සමග සසඳන විට 0.7% ක වැඩි වීමකි.
එමෙන්ම මෙවර මැතිවරණයේදී වික්ටෝරියානු ප්‍රාන්තයෙන් ඡන්ද 29,233 ක් ලබාගැනීමට One Nation පක්ෂය සමත්වූ අතර එය 1% ක වැඩි වීමකි.
බටහිර ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් ඡන්ද 57,194 ක් මෙවර ලබාගැනීමට මොවුන් සමත්වුණු අතර එය 5.1% ක වැඩි වීමක් බව සඳහන්.
දකුණු ඔස්ට්‍රේලියා ප්‍රාන්තයෙන් මේ වන විට ඡන්ද 7,501 ක්ද ටස්මේනියා ප්‍රාන්තයෙන් මේ වන විට ඡන්ද 8,160 ක් ලබාගැනීමටද One Nation පක්ෂය සමත් වී තිබේ.

Source: Facebook
කම්කරු පක්ෂයේ ඡන්ද One Nation පක්ෂයට
මෙවර ඔස්ට්‍රේලියානු මහ මැතිවරණයේදී One Nation පක්ෂය ලබාගත් වැඩිපුර ඡන්ද සියල්ලක්ම පාහේ කම්කරු පක්ෂයෙන් කැඩී පැමිණි ඡන්ද බව දේශපාලන විචාරකයින් පවසයි.
විශේෂයෙන්ම ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය තුළ කම්කරු පක්ෂයට මෙවර සාපේක්ෂව ලැබුණු ඡන්ද ප්‍රමාණය පහත ගොස් ඇති අතර එහි වැඩි ප්‍රමාණයක් One Nation පක්ෂයට හිමිවී ඇතැයි සඳහන්.
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය තුළ කම්කරු පක්ෂයේ සමස්ත ඡන්ද ප්‍රමාණය මෙවර 3.6% කින් පහත බැස තිබේ.
මෙවර මැතිවරණයේ පරාජයට කම්කරු පක්ෂයට මෙම ප්‍රතිඵලය දැඩි ලෙස බලපෑ බව Griffith විශ්ව විද්‍යාලයේ දේශපාලනය පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය Paul Williams පැවසීය.
කම්කරු පක්ෂයේ ඡන්ද අහිමිවීමට One Nation පක්ෂය මෙන්ම Clive Palmer ගේ United Australia පක්ෂයද දැඩිව බලපෑ බව ඔහු පහැදිලි කළේය.
ක්වීන්ස්ලන්ත ප්‍රාන්තය තුළ ඉදිකිරීමට අපේක්ෂිත Adani ගල් අඟුරු පතල නැවත්වීම මෙවර මැතිවරණයේදී කම්කරු පක්ෂයේ ප්‍රධාන මැතිවරණ පොරොන්දුවක් විය.
නමුත් එයින් ක්වීන්ස්ලන්ත ප්‍රාන්ත වැසියන්ට රැකියා අහිමිවීමේ වැඩි ඉඩක් ඇති බවට ප්‍රාන්ත වැසියන් විශ්වාස කළ හෙයින් ඔවුන්ගේ ඡන්ද කම්කරු පක්ෂයට අහිමිවී ගොස් තිබේ.

Labor supporters watch the television broadcast in Melbourne. Source: Getty Images
One Nation පක්ෂය
ඔස්ට්‍රේලියානු දේශපාලනයේ වඩාත් ආන්දෝලනයට තුඩුදුන් පක්ෂය ලෙසින් One Nation පක්ෂය හැඳින්වේ.
One Nation පක්ෂයේ නායිකාව වන Pauline Hanson ගේ විවිධ ජාතිවාදී සහ ආගම්වාදී ප්‍රකාශ නිසා පසුගිය සමයේ One Nation පක්ෂය දිගින් දිගටම ඔස්ට්‍රේලියානු දේශපාලනයේ ආන්දෝලනාත්මක පුවත් මැවීමට සමත් විය.
ඔස්ට්‍රේලියාවට වාර්ෂිකව බාරගන්නා සංක්‍රමණිකයින් ප්‍රමාණය හරි අඩකින් අඩු කිරීම, ඔස්ට්‍රේලියාව තුළ බුර්කාව තහනම් කිරීම, විදෙස් සංක්‍රමණිකයින් හට ඔස්ට්‍රේලියානු රැකියා ලබාදීමට විරුද්ධවීම වැනි ආන්දෝලනාත්මක යෝජනා නිසා Pauline Hanson ප්රමුඛ One Nation පක්ෂය පසුගිය සමයේදී දැඩි කතාබහකට ලක්විය.
ඊට අමතරව මුස්ලිම් විරෝධී ප්‍රතිපත්ති අනුගමනය කරන පක්ෂයක් ලෙස ද One Nation පක්ෂය ප්‍රසිද්ධියක් උසුලයි.

Source: SBS Sinhala