ශ්‍රී ලංකාවේ සිදුකළ පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරවල මහ මොළකරු ලෙස හැඳින්වෙන සහරාන් හෂීම් ගේ Facebook මිතුරෙකු ඉන්දීය ආරක්ෂක අංශ විසින් පසුගිය ජුනි 12 වන දින අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු සමග තවත් පුද්ගලයින් 5 දෙනෙකු දකුණු ඉන්දියාවේ Coimbatore හිදී අත්අඩංගුවට ගැනුණු බව ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සිය තොරතුරු වාර්තා කරයි.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
සහරාන් හෂීම් ගේ Facebook මිතුරා ලෙස මෙලෙස හඳුනාගෙන ඇත්තේ 32 හැවිරිදි මොහොමඩ් අසරුදීන් නමැති පුදගලයෙකි.
IS ත්‍රස්තවාදී සංවිධානයේ මතවාද සමාජ මාධ්‍ය ඔස්සේ පතුරුවහැරීම සහ කේරල, තමිල්නාඩු වැනි දකුණු ඉන්දීය නගර වල ත්‍රස්ත ක්‍රියා සිදුකිරීමට තරුණ පිරිස් බඳවා ගැනීම යන කටයුතු මොවුන් විසින් සිදුකරන බවට ඉන්දීය ආරක්ෂක අංශ සැක පළ කරයි.

Source: Facebook
මොහොමඩ් අසරුදීන් අතිශය රැඩිකල් වී ඇති බව හෙළිවෙයි
මොහොමඩ් අසරුදීන් නමැති මෙම සැකකරු විශාල වශයෙන් රැඩිකල්කරණයට ලක්ව ඇති බවත් “Khilafah GFX” නමින් අන්තවාදී Facebook පිටුවක් පවත්වාගෙන යන බවත් ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සිය පවසයි.
අසරුදීන් - සහරාන් සම්බන්ධය Facebook සම්බන්ධයක්ද නැතිනම් ඊට එහා ගිය එකක් ද යන්න තවමත් නොදන්නා බවත් ඔහු සහ අනෙක් 5 දෙනාගෙන් තවමත් ප්‍රශ්න කරමින් සිටින බවත් ඔවුන් පවසයි.
අන්තවාදී අදහස් සහිත සහරාන් හෂීම් ගේ වීඩියෝ සහ අදහස් මෙම ප්‍රධාන සැකකරු විසින් සමාජ මාධ්‍ය ඔස්සේ පතුරුවා හැර ඇති බවද ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය පවසයි.
සැකකාර මොහොමඩ් අසරුදීන් ගේ අන්තර්ජාල ක්‍රියාකාරකම් මාස ගණනාවක් පුරාවටම අධීක්ෂණය කෙරෙමින් පැවතුනු බව ද ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය පවසයි.
ඒ අනුව් පසුගිය බදාදා දිනයේ (12/06) සැකකරුගේ නිවෙස සහ කාර්යාල සෝදිසි කිරීමකට ලක් කෙරිණි.

Source: Facebook
අනෙක් සැකකරුවන්
මොහොමඩ් අසරුදීන් ට අමතරව අත්අඩංගුවට ගැනුණු අනෙකුත් සැකකරුවන් 5 දෙනාගේ විස්තර ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය පළ කර තිබුණේ පහත අයුරිනි.
- අක්‍රම් සින්ධා - වයස අවුරුදු 26
- ශීක් හිදයතුල්ලා - වයස අවුරුදු 38
- M. අබුබකර් - වයස අවුරුදු 29
- සදාම් හුසේන් - වයස අවුරුදු 26
- ඊබ්‍රාහීම් ශා - වයස අවුරුදු 28
මොවුන් සියලුදෙනාම දකුණු ඉන්දියාවේ Coimbatore ප්‍රදේශයේ පදිංචිකරුවන් බවද හඳුනාගෙන තිබේ.

Source: Twitter
සෝදිසි මෙහෙයුම
සැකකරුවන්ගේ නිවෙස් ඇතුළුව Coimbatore ප්‍රදේශයේ ස්ථාන 7 ක ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය සෝදිසි මෙහෙයුම් සිදුකර තිබේ.
එහිදී අත්අඩංගුවට ගැනුණු සැකකටයුතු ද්‍රව්‍ය පහත පරිදී වේ.
- ජංගම දුරකථන - 14
- සිම් කාඩ් පත් - 29
- Pen drives - 10
- ලැප් ටොප් පරිගණක - 03
- Memory cards - 06
- Hard disk drives - 04
- Internet dongle - 01
- CD සහ DVD - 13
- කිනිස්සක්
- Electric baton - 01
- වායු ගිනි අවි උණ්ඩ - 300
- අපරාධ සම්බන්ධ ලිපි ලේඛන රාශියක්
- සැකකටයුතු පත්‍රිකා කිහිපයක්
2016 වසරේදී ඉන්දීය ආරක්ෂක අංශ වල අත්අඩංගුවට පත්වුණු තවත් චූදිතයෙකු වන Riyas Abubacker සමග සමීප සම්බන්ධතාවක් මෙම සෝදිසි මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් ඊබ්‍රාහීම් ශා නැමැත්තා පවත්වාගෙන ගිය බවත් ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය වාර්තා කරයි.
IS සංවිධානය වෙනුවෙන් කේරල ප්‍රාන්තයේ ත්‍රස්ත ප්‍රහාරයක් කිරීමට සැලසුම් කිරීම හේතුවෙන් Riyas Abubacker 2016 දී අත්අඩංගුවට ගැනුණි.
මේ අතර සමාජ මාධ්‍ය වල ඉතා ජනප්‍රියව පවතින IS සංවිධානයේ ලාංඡන බදාදා (12/06) අත්අඩංගුවට ගැනුණු මොහොමඩ් අසරුදීන් විසින් නිර්මාණය කළ ඒවා බවද ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සියේ නිලධාරියෙකු පැවසීය.

Source: SBS Sinhala