ඔස්ට්‍රේලියාවේ සරණාගත ප්‍රතිපත්ති අනෙකුත් රටවල මෙන්ම ජාත්‍යන්තර සම්මුතියට ගැලපෙන අයුරින් ගෙන ආ යුතු බව ජාත්‍යන්තර සරණාගත නීති පිළිබඳ ලොව ප්‍රමුඛ පර්යේෂණ ආයතනයක් දන්වා සිටියි.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදාපෙ.ව 11 සිට 12 දක්වා
ඒ අනුව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මේ පිළිබඳ තම අවධානය යොමු කළ යුතු බවද ඔවුන් පෙන්වා දෙයි.

Source: Facebook
ඔස්ට්‍රේලියාවේ සරණාගත නීති උල්ලංඝනය කරයි
නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර සරණාගත නීති පිළිබඳ Andrew & Renata Kaldor මධ්‍යස්ථානය විසින් අපක්ෂපාතී, කරුණු සහ දත්ත මත පදනම් කරගත් සරණාගත ප්‍රතිපත්ති න්‍යාය පත්‍රයක් ඉදිරිපත් කර තිබේ.
මානුෂීය සහ වඩා තිරසාර අයුරින් සරණාගතයින් සම්බන්ධව කටයුතු කිරීම ඔස්ට්‍රේලියාව වර්ධනය කරගත යුත්තේ කෙසේද යන්න එහිදී සටහන් කොට ඇත.
වර්තමානයේ සරණාගතයින් පිළිබඳ කටයුතු කිරීමේදී ඔස්ට්‍රේලියාව ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරන බව Andrew & Renata Kaldor මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ මහාචාර්ය Jane McAdam, SBS පුවත් සේවයට පැවසුවාය.
සරණාගතයින් පිළිබඳ ඇතිකරගත් බොහෝ ජාත්‍යන්තර සම්මුතීන් ඔස්ට්‍රේලියාව විසින් උල්ලංඝනය කරන බවත් එය අනෙක් රටවල් සමග සංසන්දනය කරන විට කැපී පෙනෙන බවත් ඇය පෙන්වා දෙයි.
"රැකවරණය පැතීමට ලොව සෑම පුද්ගලයෙකුටම අයිතියක් තිබෙනවා. ජාත්‍යන්තර නීතියට අනුව රැකවරණය පතා මෙහි පැමිණෙන පුද්ගලයින් නීති උල්ලංඝනය කර නැහැ. එවැනි මිනිසුන්ට රැකවරණය නොදීමෙන් නීති උල්ලංඝනය කර ඇත්තේ ඔස්ට්‍රේලියාවයි." යනුවෙන් මහාචාර්ය Jane McAdam වැඩි දුරටත් පැවසුවාය.

Source: AAP
ප්‍රධාන භූමියෙන් පිටත පිහිටි සරණාගත රැඳවුම් මධ්‍යස්ථාන
Manus දූපතේ පිහිටි සරණාගත මධ්‍යස්ථානයේ ඉතිරිව සිටින සෙසු සරණාගතයින්වද ඉවත් කරන ලෙස Manus දූපතේ ආණ්ඩුකාර Charlie Benjamin ඔස්ට්‍රේලියාවෙන් ඉල්ලා සිටියි.
ඔස්ට්‍රේලියානු මහා මැතිවරණයෙන් අනතුරුව Manus දූපතේ සරණාගතයින් සිය දිවි හානි කරගැනීමට උත්සාහ දරා ඇති බව ABC පුවත් සේවය වාර්තා කළේය.
මේ පුවතත් සමග ප්‍රධාන භූමියෙන් පිටත පිහිටි සරණාගත රැඳවුම් මධ්‍යස්ථාන පිළිබඳ නැවතත් ගැඹුරින් සාකච්ඡා වීම ඇරඹුණි.
ප්‍රධාන භූමියෙන් පිටත පිහිටි සරණාගත රැඳවුම් මධ්‍යස්ථාන ආරම්භ කරන විට ඒවා අවසන් කරන ආකාරයක් පිළිබඳ කිසිවෙකු හෝ නොසිතු බව මහාචාර්ය Jane McAdam පැවසුවාය.
වසර 6 ක් ගතවූ පසුවත් එම මධ්‍යස්ථාන වල සිටින සරණාගතයින් තවමත් ජාත්‍යන්තර රැකවරණය පතන බවද ඇය සඳහන් කළාය.

Source: AAP
ප්‍රමුඛතාවන් 7 ක්
ලොව අනෙක් රටවල සරණාගත ප්‍රතිපත්ති සහ ඔස්ට්‍රේලියාවේ පැරණි සරණාගත ප්‍රතිපත්ති සැලකිල්ලට ගෙන නිව් සවුත් වේල්ස් විශ්ව විද්‍යාලය විසින් ප්‍රමුඛතාවන් 7 ක් පිළිබඳ ලියවිල්ලක් සකස් කර ඊයේ (13/06) දිනයේදී එහි උපකුලපති David Gonski විසින් එළිදක්වනු ලැබීය.
හිංසාවෙන් මිදීම සඳහා පළා ආ පුද්ගලයින්ට අන්තර්ජාතික නීතියට යටත්ව ඔස්ට්‍රේලියාව සැලකිය යුතු බව එහි පළමු කරුණ ලෙස සටහන් වී තිබේ.
මෙය ක්‍රියාත්මක කිරීම සඳහා 1958 ඔස්ට්‍රේලියානු සංක්‍රමණික පනතේ කොටස් කිහිපයක්ම අවලංගු කිරීමට සිදුවන බව එම වාර්තාව යෝජනා කරයි.
එමෙන්ම ප්‍රධාන භූමියෙන් පිටත සරණාගතයින් රැඳවීම අනිවාර්ය කර තිබීම අවලංගු කළ යුතු බව එහි දෙවැනි කරුණෙන් ඉදිරිපත් කර තිබේ.
ජාත්‍යන්තර නීතියට අනුව එය "අත්තනෝමතික" ක්‍රියාවක් ලෙස හැඳින්වෙන බව එම වාර්තාව පැහැදිලි කරයි.
නාවුරු සහ පැපුවා නිව් ගීනියාවේ ඔස්ට්‍රේලියාව ක්‍රියාත්මක කර ඇති සරණාගත මධ්‍යස්ථාන තිරසාර නොවන බවටද එම වාර්තාව පවසයි.
එම මධ්‍යස්ථාන ඉතා ඉහළ වියදමක්, මිනිස් ශ්‍රමයක් දරන අතරම සරණාගත ගැටලුවට දිගු කාලීන විසඳුමක් ලබාදීමට අපොහොසත් වී ඇති බවද එම වාර්තාව පැහැදිලි කරයි.

Home Affairs Minister Peter Dutton Source: AAP
ඔස්ට්‍රේලියාවේ දේශ සීමා ආරක්ෂණය
ඔස්ට්‍රේලියාවේ දේශ සීමා ආරක්ෂණ ක්‍රමවිධි දැඩි කිරීම හේතුවෙන් නීති විරෝධී සංක්‍රමණිකයින් රැගෙන ඔස්ට්‍රේලියාවට පැමිණෙන යාත්‍රා නවතාලීමට ලිබරල් සන්ධාන රජයට හැකිවූ බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු අමාත්‍ය Peter Dutton පවසයි.
පැවති ලිබරල් සන්ධාන රජයේත් නැවත පත්වුණු ලිබරල් සන්ධාන රජයේත් නීති විරෝධී යාත්‍රා පිළිබඳ තිබෙන ප්‍රතිපත්ති වල කිසිදු වෙනසක් වී නොමැති බව ඔහු පවසයි.
එමෙන්ම ඔස්ට්‍රේලියාවේ දේශ සීමා ආරක්ෂණය කිසි විටෙකවත් ලිහිල් නොකරන බවත් අමාත්‍ය Peter Dutton වැඩි දුරටත් පැවසීය.
ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයට අනුව 2013 - 2018 කාලය තුළ නීති විරෝධී සංක්‍රමණිකයින් රැගෙන ඔස්ට්‍රේලියාවට පැමිණි යාත්‍රා 33 ක් නැවත හරවා යැවීමට ලිබරල් සන්ධාන රජයට හැකිවී තිබේ.
ඔස්ට්‍රේලියාවේ සරණාගත ප්‍රතිපත්ති වලට යෝජිත ප්‍රමුඛතා පිළිබඳ වාර්තාව Kaldor මධ්‍යස්ථානය විසින් අනෙකුත් ප්‍රතිපත්ති ආයතන වෙත යවා ඇති අතර ඔවුන් ඒ පිළිබඳ අධ්‍යනය කරන බව වැඩි දුරටත් සඳහන්.

Source: SBS Sinhala