කුඩා දරුවන්ට ලොව ඇති පෝෂ්‍යදායීම ආහාරය ලෙස මව් කිරි හැඳින්වේ.
තම දරුවා හට මව් කිරි ලබාදීමට සෑම මවකටම මානුෂීය ලෙස මෙන්ම නීත්‍යානුකූලව ද හිමිකමක් පවතී.
SBS සිංහල සේවය සඳුදා, අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා පෙ.ව 11 සිට 12 දක්වා (ඕස්ට්‍රේලියානු වේලාවෙන්)
SBS Radio APP එකෙන් (Free download)
නමුත් බොහෝ විට පොදු ස්ථානයකදී තම දරුවාට මව් කිරි දීමට සිදුවුවහොත් බොහෝ මව්වරු විවිධ අසීරු අවස්ථාවන්ට මුහුණ දෙති.
කිරිදෙන මවක් ලෙස ඔබගේ හිමිකම් සුරක්ෂිත කරන නීති පිළිබඳ දැන සිටීම ඉතා වැදගත් වන්නේ එනිසාවෙනි.
ඔස්ට්‍රේලියාවේ පොදු ස්ථාන වල මව් කිරීදීම සම්බන්ධ පවතින නීති රෙගුලාසි පිළිබඳව ඔබව දැනුවත් කිරීමට මෙම ලිපියෙන් අපි උත්සහ දරන්නෙමු.

Source: SBS
ඔස්ට්‍රේලියාවේ පොදු ස්ථාන වල මව් කිරීදීම
ඔස්ට්‍රේලියාවේ පොදු ස්ථාන වල මව් කිරීදීම විශේෂයෙන්ම Anti-discrimination නීතිය යටතේ ආරක්ෂා වී තිබේ.
එනිසාම කිරි දෙන මවකට මව් කිරි දීම නැවැත්වීමට බල කිරීම වැනි දේ කිසිදු පුද්ගලයෙකුට සිදු කිරීමට නොහැකිය.
මේ සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ ෆෙඩරල් නීතිය මෙන්ම ඒ ඒ ප්‍රාන්ත හා ටෙරටරි වලට වෙන්වූ නීති ඇති බව Australian Breastfeeding සංගමයේ මහජන සම්බන්ධීකාරක නිලධාරිනී සහ මව් කිරි දීම සම්බන්ධ උපදේශිකාවක් ලෙස කටයුතු කරන Jessica Leonard මහත්මිය SBS සිංහල සේවය ට පැවසුවාය.
එසේ නමුත් කුමන නීතිය යටතේ වුවද ඔස්ට්‍රේලියාවේ පොදු ස්ථාන වල මව් කිරීදීම සිදුකිරීමට මව්වරුන්ට අයිතිය ඇති බවද ඇය අවධාරණය කළාය.

Source: Flickr
තමන්ගේ දරුවට කුසගිනි හැදුනු ඕනෑම ස්ථානයකදී මවට මව් කිරි දීමට හැකියාවක් තිබෙනවාද?
අදාළ මවට සහ දරුවාට ඔස්ට්‍රේලියාව තුළ යම් තැනක රැඳීමට අවසර තිබෙනවානම් එම මවට තම දරුවාට ඒ ස්ථානයේදී මව් කිරි දීමට අයිතිය තිබේ.
නමුත් දරුවට රැදී සිටීමට අයිතියක් නොමැති ස්ථාන වලදී පවා අදාළ මවට එහි පොදු ස්ථානයකදී වුවද මව් කිරි දෙවීමේ කටයුත්ත කිරීමට අයිතිය ඇති බව Jessica Leonard මහත්මිය SBS සිංහල සේවය ට පැවසුවාය.
එමෙන්ම 'NO FOOD or DRINK ALLOWED' යන සංඥා පුවරුවක් ඇති තැනක පවා මවකට තම දරුවට මව් කිරි දීමට හැකියාවක් තිබෙන බව සඳහන්.
එම සංඥා පුවරු බොහෝ විට මව් කිරි දීම සම්බන්ධයෙන් අදාළ නොවන බව Jessica Leonard මහත්මිය අප සමග පැවසුවාය.
නමුත් ඇතැම් ස්ථාන වල ආරක්ෂක හේතු හෝ සෞඛ්‍ය හේතුමත එවැනි සංඥා පුවරු ප්‍රදර්ශනය කරන්නට හැකි බවත් එවැනි අවස්ථාවක ඔබේ සාමාන්‍ය දැනුම භාවිතා කිරීම ඉතා වැදගත් බවත් ඇය පෙන්වා දුන්නාය.

Source: Flickr
ඔස්ට්‍රේලියාවේ පොදු ස්ථානයකදී මව් කිරි දෙමින් සිටින විට එය නවත්වන ලෙස බල කළ හැකිද?
යම් කිසි පුද්ගලයෙකු ඔබ ඔස්ට්‍රේලියාවේ පොදු ස්ථානයකදී මව් කිරි දෙනවිට නවත්වන ලෙස කියා සිටියත් ඔබ එය නැවත්විය යුතු නැති බව Australian Breastfeeding සංගමයේ මහජන සම්බන්ධීකාරක නිලධාරිනී සහ මව් කිරි දීම සම්බන්ධ උපදේශිකාවක් ලෙස කටයුතු කරන Jessica Leonard මහත්මිය SBS සිංහල සේවය ට පැවසුවාය.
ඔබ සහ ඔබේ දරුවා ඔස්ට්‍රේලියාවේ Anti-discrimination නීතිය යටතේ ආරක්ෂාවී තිබීම ඊට හේතුව බව ඇය පැවසුවාය.
මව් කිරි දීම සම්බන්ධව යම් නීතිමය ගැටළුවක් හෝ වෙනයම් ගැටළුවක් ඇත්නම් Australian Breastfeeding සංගමය අදාළ මව්වරුන්ට උපකාර කිරීමට සූදානමින් සිටියි.
ඒ සඳහා ඔස්ට්‍රේලියාවේ ජාතික වශයෙන් ක්‍රියාත්මක Breastfeeding Helpline එකක් ඇති බවත් එයට 1800 686 268 යන දුරකතන අංකයෙන් ඇමතිය හැකි බවත් Jessica පැවසුවාය.
භාෂා පරිවර්තක සේවාවන් ද අවශ්‍යනම් ඔවුන්ට ලබා දීමට හැකි බවද ඇය පැවසුවාය.

Source: Flickr
රැකියා කරන මව්වරුන් හට මව් කිරි දීමට ඔස්ට්‍රේලියාව තුළ ඇති හිමිකම්
රැකියා කරන මව්වරුන් හට මව් කිරි දීමට ඔස්ට්‍රේලියාව තුළ ඇති හිමිකම් සම්බන්ධ නීතිය අනෙක් නීති මෙන් නිශ්චිත නොමැති බව Australian Breastfeeding සංගමයේ මහජන සම්බන්ධීකාරක නිලධාරිනී සහ මව් කිරි දීම සම්බන්ධ උපදේශිකාවක් ලෙස කටයුතු කරන Jessica Leonard මහත්මිය SBS සිංහල සේවය ට පැවසුවාය.
නමුත් සේවායෝජකයින් කිරි දෙන මව්වරුන්ට මව් කිරි දීම හෝ මව් කිරි දෙවීම සඳහා සාධාරණ සහයක් ලබා දිය යුතු බවට එම නීති වල කියවෙන බව ඇය පැහැදිලි කළාය.
"මෙය සේවා ස්ථානයන් සේවා ස්ථානයට වෙනස් වෙනවා, ඒවගේම ඔබේ දරුවාගේ වයස අනුවත් වෙනස් වෙනවා. එනිසාම අපි නිර්දේශ කරනවා, දරු උපතකින් පසුව අදාළ මව තම සේවා ස්ථානයට නැවත වාර්තා කිරීමට පෙර මේ සම්බන්ධ තමන්ගේ සේවා යෝජ්කයාත් සමග සාකච්ඡා කිරීම වඩාත් සුදුසුයි කියලා." යනුවෙන් Jessica පැවසුවාය.
එමෙන්ම කිරිදෙන මව්වරුන්ට රැකියා ස්ථාන වලදී සහය දිය යුතු ආකාරය පිළිබද සේවායෝජකයින් දැනුවත් කෙරෙන විවිධ වැඩසටහන් Australian Breastfeeding සංගමය විසින් සිදුකරන බවද ඇය අප සමග පැවසුවාය.

Source: SBS Sinhala