නව මුල්‍ය වර්ෂයක් ආරම්භයේදී බොහෝදුරට ඔස්ට්‍රේලියාවේ සංක්‍රමණ පද්ධතියේ යම් සංශෝධන කිරීමට මධ්‍යම රජය පියවර ගනී.
2022 ජූලි 01 සිට ඇරඹෙන ඔස්ට්‍රේලියාවේ නව මුල්‍ය වර්ෂයේදී ද ඇතැම් ඔස්ට්‍රේලියානු වීසා සඳහා යම් සංශෝධන කිරීමට ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය මේ වන විට තීරණය කර තිබේ.
Highlights
- 2022 ජූලි 01 සිට 482 වීසා බලපත්‍රලාභීන්ට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට මාර්ගය පහසු කර තිබේ.
- TRT වීසා හරහා ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමේදී 457 වීසා ලාභීන්ට තවදුරටත් වයස් සීමාව බල නොපෑම ජූලි 01 සිට ක්‍රියාත්මක වන තවත් වෙනසකි.
- ඔස්ට්‍රේලියාවේ දේශ සීමා වසා දැමීම නිසා තම වීසා කාලය අහිමි වූ 485 වීසා බලපත්‍රලාභීන්ට replacement 485 වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට 2022 ජූලි 01 අවසර ලැබේ.
දැනට වාර්තා වී ඇති එම සංශෝධන පිළිබඳ තොරතුරු මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.
මෙම ලිපිය SBS සිංහල සේවය මඟින් සම්පාදනය කරන ලද ලිපියකි. මෙහි ඇති තොරතුරු ලබා ගැනීමේදී හෝ පිටපත් කරගැනීමේදී SBS සිංහල සේවය වෙතින් උපුටා ගත් බවට සඳහන් කිරීම මඟින් කර්තෘ හිමිකාරීත්වය ලබාදීමට කාරුණික වන්න.
Temporary skill shortage වීසා
2022 ජූලි 01 සිට Temporary skill shortage හෙවත් 482 වීසා බලපත්‍රලාභීන්ට ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට මාර්ගය පහසු කර තිබේ.
ඔස්ට්‍රේලියාවේ, පසුගිය මාර්තු 31 වන විට, 482 වීසා බලපත්‍රලාභීන් හෝ එයට අදාළ 457 වීසා බලපත්‍රලාභීන් (2018 මාර්තු මාසයේ සිට නව 457 වීසා නිකුත් කිරීම අත්හිටුවීය) 52,440 ක් සිටින බව සඳහන්.
ජූලි 1 වනදා සිට, මෙම 482 වීසා බලපත්‍රලාභීන්ට Temporary Residence Transition හෝ TRT වීසා බලපත්‍රය සඳහා අයදුම් කිරීමට අවසර ලැබේ.
තම සේවායෝජකයා විසින් නම් කරන ලද පුහුණු ශ්‍රමිකයින්ට ඔස්ට්‍රේලියාවේ ස්ථිරව ජීවත් වීමට සහ රැකියා කිරීමට එය ඉඩ සලසයි.
නමුත් මෙම නව මාර්ගයට ප්‍රවේශ විය හැක්කේ 2022 ජූලි 01 සිට වසර දෙකකට පමණි.
482 වීසා සඳහා සිදුකළ මෙම තාවකාලික වෙනස හේතුවෙන් මෙම වීසා බලපත්‍රලාභීන්ට ඔස්ට්‍රේලියාවේ ස්ථිරවම ජීවත්වීම සඳහා ප්‍රවේශ විය හැකි වනු ඇති බව නීතිඥ Luke Edwards පවසයි.
ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු ස්ථිර පදිංචිය ලබාගැනීමට මාර්ගයක් නොමැතිව බොහෝ දුෂ්කර තත්ත්වයක සිටි බව ඔහු පෙන්වා දෙයි.
මේ සඳහා සුදුසුකම් ලබන පුද්ගලයින් 2020 පෙබරවාරි 1 සහ 2021 දෙසැම්බර් 14 අතර අවම වශයෙන් වසරක්වත් ඕස්ට්‍රේලියාවේ වාසය කර තිබීම අවශ්‍ය වේ.
Short-term Skilled රැකියා ලැයිස්තුවේ (STSOL) රැකියාවක් ඇති 457 වීසා දරන්නන් සඳහාද මෙම වෙනස් කිරීම අදාළ වේ.
කොවිඩ් වසංගතය පුරාවටම ඔස්ට්‍රේලියාවේ රැඳී සිටීමට තෝරා ගත් ඉහළ දක්ෂතා ඇති සංක්‍රමණිකයන් හට මෙම විශේෂ සහනය ලබාදී ඔවුන්ට ඔස්ට්‍රේලියානු පුරවැසිභාවය ලබා ගැනීම සඳහා මාර්ගයක් සලසා දීම මෙහි අරමුණ බව ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙකු SBS ප්‍රවෘත්ති සේවයට පැවසුවේය.

Source: Getty Images/Hidn20 Imagery
වයස් සීමාව ඉවත් කිරීම
TRT වීසා හරහා ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමේදී 457 වීසා ලාභීන්ට තවදුරටත් වයස් සීමාව බල නොපෑම ජූලි 01 සිට ක්‍රියාත්මක වන තවත් වෙනසකි.
වයස අවුරුදු 45 සහ ඊට වැඩි වයසක් හිමි මෙම වීසා බලපත්‍රලාභීන්ට මින් පෙර ස්ථිර පදිංචිය සඳහා කිසිදු මාර්ගයක් නොතිබූ හෝ තිබු මාර්ග ඉතා සීමිත වූ බව හෝ නීතිඥ Luke Edwards පවසයි.
වයස් නිදහස් කිරීමේ වෙනස සඳහා සුදුසුකම් ලැබීමට, 457 වීසා බලපත්‍රලාභීන් 2017 අප්‍රේල් 18 සිට හෝ ඊට පසුව එම වීසා බලපත්‍රය ලබාගෙන තිබීම අවශ්‍ය වේ.
457 වීසා ලාභීන්ටද මෙම නව මාර්ගයට ප්‍රවේශ විය හැක්කේ 2022 ජූලි 01 සිට වසර දෙකකට පමණය.
වයස් සීමාව නිදහස් කිරීමේ සංශෝධනය සඳහා සුදුසුකම් ලැබීමට අදාළ අයදුම්කරුවන් 2020 පෙබරවාරි 1 සහ 2021 දෙසැම්බර් 14 අතර ඔස්ට්‍රේලියාවේ වාසය කර තිබීම අවශ්‍ය වේ.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
Temporary graduate වීසා
Temporary graduate වීසා ලාභීන්ට හෙවත් 485 වීසා ලාභීන්ට ද ජූලි 01 වනදා සිට සංශෝධන සහනයක් හිමිවේ.
කොවිඩ් වසංගතය හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ දේශ සීමා වසා දැමීම නිසා තම වීසා කාලය අහිමි වූ Temporary graduate වීසා බලපත්‍රලාභීන්ට replacement වීසා බලපත්‍රයක් හෙවත් ප්‍රතිස්ථාපන 485 වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීමට අවසර ලැබේ.
මෙයට සුදුසුකම් ලැබීමට, අදාළ පුද්ගලයන් මෙම වලංගු 485 වීසා බලපත්‍රයක් දරමින් සිටිය යුතුය.
නැතහොත් 2020 පෙබරවාරි 1 වැනි දින හෝ ඉන් පසුව කල් ඉකුත් වූ 485 වීසා බලපත්‍රයකට හිමිකම් කිව යුතුය.
එමෙන්ම ඔවුන් 2020 පෙබරවාරි 1 සහ 2021 දෙසැම්බර් 15 අතර ඔස්ට්‍රේලියාවෙන් පිටත ද වාසය කර තිබිය යුතුවේ.
වත්මන් හෝ හිටපු 485 වීසා බලපත්‍රලාභීන් 30,000 කට පමණ මේ හරහා ප්‍රතිලාභ ලැබෙනු ඇතැයි අපේක්ෂාවෙන් මෙම පියවර ප්‍රකාශයට පත් කර තිබේ.
මෙම උපාධිධාරීන්ගේ අධ්‍යාපන පළපුරුද්ද නිසා ඔවුන්ට ඉක්මනින් ඔස්ට්‍රේලියාවේ ශ්‍රම බලකායට ධනාත්මක දායකත්වයක් ලබා දීමට හැකියාව ඇති බව සංක්‍රමණ කටයුතු පිළිබඳ නීතිඥයෙකු වන Ben Watt පවසයි.
සාමාන්‍යයෙන්, අයදුම්කරුවෙකුට ප්‍රධාන අයදුම්කරු ලෙස තම ජීවිතයේ එක් වරක් පමණක් මෙම 485 වීසා බලපත්‍රය දැරිය හැකි වන අතර තවත් 485 වීසා බලපත්‍රයක් ලබා ගත හැක්කේ ප්‍රාදේශීය කලාපයක රැකියා කිරීමේ සහ අධාපනය ලැබීමේ පදනම මත පමණි.

The Morrison government says the increase in working holiday makers will support regional economies. Source: AAP
Working holiday වීසා
COVID-19 හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ දේශසීමා වසා දැමීම නිසා Working holiday වීසා ලාභීන්ටත් ඔස්ට්‍රේලියාවේ දොර වැසුණි.
එනිසාම සාමාන්‍යයෙන් ඔවුන්ගේ ශ්‍රම දායකත්වය මත රඳා පවතින කර්මාන්ත කෙරෙහි දැඩි පීඩනයක් ඇති විය.
නමුත් ජුලි 1 වනදා සිට 462 වීසා බලපත්‍රයේ විධිවිධානවල කොටසක් ලෙස කෝටා සීමාවකට මුහුණ දෙන රටවල් කිහිපයක working holiday වීසා ලාභීන්ට ලබා දෙන වීසා සංඛ්‍යාව 2022-23 වසර තුළ පමණක් 30% ක ප්‍රතිශතයකින් වැඩි කිරීමක් සිදුවනු ඇත.
2022 ජූලි 01 පටන් ඇරඹෙන නව මුල්‍ය වර්ෂයේ සිට, මොංගෝලියාවට සහ බ්‍රසීලයට ද ඔස්ට්‍රේලියාවේ Working Holiday වීසා වැඩසටහනට ප්‍රවේශය ලැබෙනු ඇති අතර, ඇතැම් රටවල් සඳහා වයස් සීමාවන් සහ කෝටා සීමාවන් සඳහා ද වෙනස්කම් සිදුවනු ඇත.
ඉතාලි සහ ඩෙන්මාර්ක පුරවැසියන් සඳහා වයස අවුරුදු 30 සිට 35 දක්වා වයස් සීමාව වසර පහකින් වැඩි කිරීම මෙයට ඇතුළත් වේ.
හංගේරියාව, ඔස්ට්‍රියාව සහ ස්ලෝවැක් ජනරජය වැනි රටවල සඳහා Working holiday වීසා ලබාදීම 1,400ක් දක්වා වැඩි කර තිබේ.
work holiday වීසා ලබා දීම වැනි ශ්‍රමිකයින් සහ සෘතුමය ශ්‍රමිකයින් සඳහා විශේෂයෙන් ප්‍රාදේශීය ඔස්ට්‍රේලියා කලාපවල ව්යාපරකයින්ගෙන් සහ ගොවිපල ව්‍යාපාරවලින් විශාල ඉල්ලුමක් ඇති බව නීතිඥ Luke Edwards පවසයි.