Highlights
- 2022 ජුනි 30 න් අවසන් වූ මෙම වසංගත නිවාඩු ආපදා ගෙවීම 2022 ජූලි 20 සිට යළි ලබාගත හැකිය.
- පැය 8ත් 20ත් අතර සේවය අහිමි වන පුද්ගලයින්ට ඩොලර් 450ක් හිමි වන අතර පැය 20 කට වඩා අහිමි වන අයට $750 ලබා ගත හැකිය.
- යුවලක් නම් අඹුසැමියන් දෙදෙනාටම මෙම ගෙවීමට හිමිකම් කිව හැකි නමුත් වෙන වෙනම අයදුම් කළ යුතුය.
ඔස්ට්‍රේලියාවේ COVID-19 ආසාදනය වූ ශ්‍රමිකයින් සඳහා pandemic leave payments හෙවත් වසංගත නිවාඩු ගෙවීම් යළි ලබාදෙන බව අගමැති Anthony Albanese නිවේදනය කළේය.
ඔස්ට්‍රේලියානු ප්‍රාන්ත සහ ටෙරිටරි නායකයින්ගේ දැඩි පීඩනය මධ්‍යයේ පසුගිය සෙනසුරාදා (ජූලි 16) පැවති ජාතික කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඔහු මේ සඳහා අනුමැතිය දී තිබේ.
වසංගත නිවාඩු ගෙවීම් 2022 ජුනි 30 වන දිනෙන් අවසන් වූ නමුත් නව තීරණය නිසා 2022 සැප්තැම්බර් 30 තෙක් එම ගෙවීම ලබා දීමට මධ්‍යම රජය තීරණය කර ඇත.
මේ සඳහා අයදුම් කළ හැක්කේ කෙසේද සහ අයදුම් කළ යුත්තේ කෙසේද යන්න මෙම ලිපියෙන් පැහැදිලි කෙරේ.

Australian Prime minister Anthony Albanese Source: AAP Image/Paul Braven
වසංගත නිවාඩු ආපදා ගෙවීම යනු කුමක්ද?
වසංගත නිවාඩු ආපදා ගෙවීම යනු අසනීප නිවාඩු සඳහා ප්‍රවේශයක් නොමැති සහ COVID-19 ආසාදනය වීම හේතුවෙන් ස්වයං නිරෝධායනය වීම නිසා රැකියාව කිරීමට නොහැකි පුද්ගලයින්ට එකවර පිරිනැමෙන මුදලකි.
මෙය ප්‍රථම වරට 2020 දී හඳුන්වා දෙන ලද අතර, ස්වයං නිරෝධායනය විය යුතු හෝ ස්වයං නිරෝධායනය විය යුතු කෙනෙකු රැකබලා ගන්නා අත්‍යවශ්‍ය සේවකයින්ට සහාය වීම සඳහා නිර්මාණය කරන ලද්දකි.
එක් එක් දින හතක ස්වයං නිරෝධායන කාලය සඳහා සුදුසුකම් ලත් සේවකයන්ට මෙහිදී ගෙවනු ලැබේ.
ස්වයං නිරෝධායනය වීම නිසා අහිමි වූ වැඩ කරන පැය ගණන අනුව ලැබෙන මුදල වෙනස් වේ.
පැය 8ත් 20ත් අතර සේවය අහිමි වන පුද්ගලයින්ට ඩොලර් 450ක් හිමි වන අතර පැය 20 කට වඩා අහිමි වන අයට $750 ලබා ගත හැකිය.

Source: Getty
මේ සඳහා සුදුසුකම් ලබන්නේ කවුරුන්ද?
මෙම ගෙවීම් ලබා ගැනීම සඳහා, අයදුම්කරුවන් යම් යම් සුදුසුකම් සහ අවශ්‍යතා සපුරාලිය යුතුය.
මේ සඳහා සුදුසුකම් ලැබීමට, අයදුම්කරුවන්ට අවම වශයෙන් පැය අටක් හෝ සම්පූර්ණ දිනක රාජකාරී අහිමි වී තිබිය යුතුය.
එමෙන්ම ඔවුන්ට මෙම ගෙවීම හිමිකම් කියන කාල සීමාවේ පළමු දිනයේ දී ඩොලර් 10,000ට අඩු liquid assets හෙවත් ද්‍රවශීල වත්කම් තිබිය යුතුය.
යුවලක් නම් අඹුසැමියන් දෙදෙනාටම මෙම ගෙවීමට හිමිකම් කිව හැකි නමුත් වෙන වෙනම අයදුම් කළ යුතුය.
වැටුප් සහිත රාජකාරීවලින් හෝ support payments වලින් ආදායමක් ඇති අය ස්වයං නිරෝධායනය වී සිටින විට මේ සඳහා සුදුසුකම් නොලබයි.
සමහර ප්‍රාන්ත සහ ටෙරිටරි විසින් අත්‍යවශ්‍ය සේවකයින් COVID-19 ආසාදිතයෙකුගේ සමීප ආශ්‍රිතයෙකුනම් ඔවුන් ස්වයං නිරෝධායනයෙන් නිදහස් කරනු ලැබේ.
මෙම නිදහස් කිරීම ඇති සහ රාජකාරී කිරීමට හැකියාව ඇති පුද්ගලයින් වසංගත නිවාඩු ආපදා ගෙවීම සඳහා සුදුසුකම් නොලබයි.
එමෙන්ම පැය අටකට අඩු සේවා පැය ගණනක් අහිමි වූ ඕනෑම අයෙකු මේ සඳහා සුදුසුකම් නොලබයි.
ඩිජිටල් සහ සමාජ මාධ්‍ය ජාලයන්හි අපගේ SBS සිංහල සේවය හා සම්බන්ධ වීමට:
SBS Radio App: හෝ වෙතින් SBS Radio App නොමිලයේ Download කරගෙන සජීවීව SBS සිංහල වැඩසටහන සහ අපගේ අනෙකුත් podcast වලට සවන් දෙන්න.
මෙම ගෙවීම ලබාගත හැකි කාල වකවානුව
2022 ජුනි 30 න් අවසන් වූ මෙම වසංගත නිවාඩු ආපදා ගෙවීම 2022 ජූලි 20 සිට යළි ලබාගත හැකිය.
එම කාල සීමාව තුළ ස්වයං නිරෝධායනය වීම හේතුවෙන් රැකියා කිරීමට නොහැකි වූ සුදුසුකම් ඇති පුද්ගලයින් ද ආවරණය කිරීම සහතික කිරීම සඳහා මෙම ගෙවීම් ජූලි 1 වන දින සිට ගෙවනු ලැබේ.
අයදුම් කරන්නේ කෙසේද?
අයදුම්කරුවන්ට ඔවුන්ගේ අයදුම් කිරීම් online මාර්ගයෙන් යොමු කිරීමට උනන්දු කරනු ලබන අතර, ඊට Centrelink customer reference number හෙවත් Centrelink පාරිභෝගික අංකයක් සමඟ myGov ගිණුමක් අවශ්‍ය වේ.
Online මාර්ගයෙන් අයදුම් කිරීමට නොහැකි අයට 180 22 66 දුරකතන අංකය ඇමතීමට හැකිය.
මෙම හිමිකම් නිල වශයෙන් ජූලි 20 බදාදා විවෘත වන තෙක් දුරකතන ඇමතුම් ලබා නොගන්නා ලෙස අගමැතිවරයා අයදුම්කරුවන්ට දැනුම් දුන්නේය.
ස්වයං නිරෝධායන කාල සීමාව ආරම්භ වී දින 14ක් ඇතුළත මේ සඳහා අයදුම් කළ යුතුය.