Explainer

නිවසේ සිට වැඩ කරන ඔස්ට්‍රේලියාවේ ඔබට බදු ප්‍රතිලාභ ලබා ගන්න මේ වසරේ සිට හොඳ වියදම් වාර්තාවක් දෙන්නට වේවි

ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය මෙම මූල්‍ය වර්ෂය සඳහා නිවසේ සිට වැඩ කරන පිරිවැය පියවා ගැනීමේ ක්‍රමවේදයේ සිදු කළ වෙනස්කම් හඳුන්වා දී තිබේ. ඒ සම්බන්ධව ඔබ දැන ගත යුතු කරුණු මෙම ලිපියෙන් ඉදිරිපත් කෙරේ.

A man working in his home office

The changes to working from home deductions only apply to the "fixed rate" method. Source: Getty / Morsa Images

Key Points:
  • නිවසේ සිට වැඩ කිරීමේ පිරිවැය ගණනය කිරීමේ ස්ථාවර අනුපාත ක්‍රමය ( fixed rate method ) සඳහා මෙම වෙනස්කම් හඳුන්වා දෙනු ලැබේ.
  • ඒ අනුව ඔබ නිවසේ වැඩ කරන සෑම පැයකටම ඔබට හිමිකම් පෑ හැකි ගාස්තුව ශත 52 සිට ශත 67 දක්වා වැඩි වේ.
  • මාර්තු 1 වනදා සිට, බදු ගෙවන්නන් හට නිවසේ සිට වැඩ කරන පැය ගණන පිළිබඳ සවිස්තරාත්මක වාර්තා තබා ගැනීමට ද සිදුවේ.
පසුගිය වසර කිහිපය ඔබ නිවසේ සිට වැඩ කර ඇත්නම්, ඔබේ බදු ප්‍රතිලාභය සඳහා ඔබට හිමිකම් කිව හැකි වියදම් මොනවාදැයි ඔබ සිතනවා විය හැක.

ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය (ATO) විසින් 2022/23 මූල්‍ය වර්ෂය සඳහා නිවසේ සිට වැඩ කිරීමට වැය වන පිරිවැය වෙනුවෙන් වෙනස්කම් ප්‍රකාශයට පත් කර ඇති අතර ඒ අනුව ඇතැම් බදු ගෙවන්නන් එළඹෙන මාර්තු 1 වෙනිදා සිට අමතර වගකීම් දැරීමට සිදු වේ.
නවතම බදු ප්‍රතිලාභ වෙනස්කම් ගැන ඔබ දැනගත යුතු කරුණු මෙම ලිපියේ සඳහන් වේ.

බදු ප්‍රතිලාභ වල වෙනස් වෙන්නේ මොනවාද ?

නිවසේ සිට වැඩ කිරීමේ පිරිවැය බදු වලින් අඩු කර බදු ප්‍රතිලාභ සඳහා හිමිකම් පෑමට, ඔස්ට්‍රේලියානු බදු ගෙවන්නන්ට ක්‍රම දෙකක් තිබේ.
1. සැබෑ පිරිවැය ක්‍රමය (actual cost)
2. ස්ථාවර අනුපාත ක්‍රමය( fixed rate)

ස්ථාවර අනුපාත ක්‍රමය මේ වසරේ වෙනස් වන ක්‍රමයයි. ඒ අනුව ඔබ නිවසේ සිට වැඩ කරන සෑම පැයකටම ඔබට හිමිකම් පෑ හැකි මුදල ශත 52 සිට ශත 67 දක්වා වැඩි වේ.

නිවසේ සිට වැඩ කරන වියදම් ගාස්තුව වෙනස් වනවා මෙන්ම මෙම ප්‍රතිලාභ ලබා ගැනීම සඳහා ඔබ තබා ගැනීමට අවශ්‍ය වන වාර්තා ද වෙනස් වේ.
බදු අඩු කිරීම් ඉල්ලා සිටීමට හැකි වන පරිදි වැඩ කිරීම සඳහා නිවසේ වෙන් කර ඇති කාර්යාලයක් තිබීමේ අවශ්‍යතාවය ද ඉවත් කෙරේ.

ගෙදර සිට වැඩ කිරීමේ විධිවිධාන වඩා හොඳින් පිළිබිඹු කිරීමට මෙම ස්ථාවර අනුපාත ක්‍රමයේ වෙනස්කම් සිදු කරන බව
ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය පවසයි.

ස්ථිර අනුපාත ක්‍රමය මගින් ආවරණය කරන වියදම් මොනවාද ?

මීට පෙර ශත 52 ක් වූ ස්ථාවර අනුපාත ක්‍රමය නිවසේ කාර්යාලීය ගෘහභාණ්ඩවල වටිනාකම පහත වැටීම, උණුසුම, සිසිලනය සහ ආලෝකය සඳහා යන බලශක්ති වියදම් මෙන්ම ඔබේ නිවසේ වෙන් කළ කාර්යාලය පිරිසිදු කිරීමේ පිරිවැය ආවරණය කරයි.

සංශෝධිත ස්ථාවර අනුපාත ක්‍රමයට බදු අඩු කිරීම් සඳහා පහත සඳහන් වන වියදම් ඇතුළත් වේ:

ස්ථාවර සහ ජංගම අන්තර්ජාල පහසුකම් හෝ දත්ත
ස්ථාවර සහ ජංගම දුරකථන භාවිතය
උණුසුම, සිසිලනය සහ ආලෝකය සඳහා විදුලිය සහ ගෑස්
මුද්‍රණ කඩදාසි සහ තීන්ත වැනි ලිපිද්‍රව්‍ය සහ පරිගණක පරිභෝජන ද්‍රව්‍ය

ඔබේ නිවසේ සිට වැඩ කරන වියදම් ගණනය කිරීමට ස්ථාවර අනුපාත ක්‍රමය භාවිතා කරන්නේ නම්, එය ආවරණය කරන ඕනෑම අයිතමයක් සඳහා ඔබට වෙනම වෙනම අමතර අඩු කිරීම් ඉල්ලා සිටිය නොහැක.

කෙසේ වෙතත්, මෙම ක්‍රමය මගින් ආවරණය නොකරන වියදම් සඳහා අඩු කිරීම් ඉල්ලා සිටීමට ඔබට තවමත් අවසර තිබේ. මෙයට පරිගණක, දුරකථන සහ කාර්යාලීය ගෘහභාණ්ඩ වැනි දේ ඇතුළත් වේ.
භාණ්ඩයක මිල ඩොලර් 300ක් හෝ ඊට අඩු නම් සහ ඔබ එය ප්‍රධාන වශයෙන් වැඩ කිරීම සඳහා භාවිතා කරන්නේ නම්, මිලදී ගත් මූල්‍ය වර්ෂය තුළ ඔබට ඒ සඳහා ක්ෂණික ආපසු ගෙවීමක් ඉල්ලා සිටිය හැක.

නමුත් එහි මිල ඩොලර් 300 ට වඩා වැඩි නම්, ඔබට එහි ඵලදායී ආයු කාලය තුළ වටිනාකම අඩුවීම සඳහා පමණක් බදු අඩු කිරීමක් ඉල්ලා සිටිය හැක.

භාණ්ඩවල අලුත්වැඩියාව සහ නඩත්තුව සඳහා ඔබ දරන ඕනෑම වියදමක් සඳහා ඔබට හිමිකම් පෑමටද හැකියාව තිබේ.

ඔබ වෘත්තීය සහ පුද්ගලික අරමුණු සඳහා යම් අයිතමයක් භාවිතා කරන්නේ නම්, ඔබට වැඩ කිරීම සඳහා භාවිතා කරන කොටස සඳහා පමණක් බදු අඩු අඩු කිරීම් ඉල්ලා සිටිය හැක.

විශේෂ අවස්ථා වලදී, නිවාසේ වෙන් කළ කාර්යාලයක් සහිත බදු ගෙවන්නන්ට උකස් පොලී හෝ නිවාස කුලිය හෝ පිරිසිදු කිරීමේ වියදම් වැනි නේවාසික වියදම් ඉල්ලා සිටීමටද හැකි වේ.

ඔබ තබා ගැනීමට අවශ්‍ය වාර්තා මොනවාද?

මීට පෙර මූල්‍ය වර්ෂවලදී, බදු ගෙවන්නන් නිවසේ සිට වැඩ කරන සැබෑ පැය ගණන හෝ නිවසේ සිට වැඩ කිරීමේ සුපුරුදු රටාව නියෝජනය කරන අඛණ්ඩ සති හතරක කාල සීමාවක් පිළිබඳ වාර්තා තබා ගැනීමට අවශ්‍ය විය.

නමුත් එළඹෙන මාර්තු 1 වෙනිදා සිට , ATO විසින් අදාළ මූල්‍ය වර්ෂය තුළ ඔබ නිවසේ සිට වැඩ කළ සැබෑ පැය ගණන පිළිබඳ වාර්තාවක් පමණක් පිළිගනු ඇත.
සේවා මුර සටහන්, කාලසටහන් හෝ දිනපොතක් වැනි ලේඛන මේ සඳහා ප්‍රමාණවත් වනු ඇත.

ඔබ දරන සෑම වියදමක් ගැනම වාර්තා තබා ගත යුතුය. මෙයින් අදහස් වන්නේ ඔබ නිවසේ සිට වැඩ කරන විට ඔබගේ දුරකථනය භාවිතා කරන්නේ නම්, ඔබ සතුව ඔබගේ බිල්පතේ පිටපතක් තිබිය යුතු වන බවයි. විදුලිය, ගෑස් සහ අන්තර්ජාලය මෙන්ම ඔබ භාවිතා කරන ඕනෑම ගෘහ භාණ්ඩ හෝ තාක්ෂණය සඳහාද මෙය අදාල වේ.
මූල්‍ය වර්ෂය පුරාවටම වාර්තා තබා ගැනීම සම්බන්ධ වෙනස්කම් ගැන සැලකිලිමත් වන අය සඳහා කලබල නොවන ලෙස ATO විසින් දැනුම් දී ඇති අතර මෙම අවශ්‍යතා අනුව වෙනස් වීමට විධිවිධාන ක්‍රියාත්මක කර තිබේ.

2022 ජූලි 1 සිට 2023 පෙබරවාරි 28 දක්වා, අපි නිවසේ සිට වැඩ කරන මුළු පැය ගණන නියෝජනය කිරීම සඳහා උදාහරණයක් ලෙස සති හතරක දිනපොතක් වැනි වාර්තාවක් පිළිගන්නා බව ATO සහකාර කොමසාරිස් Tim Loh පැවසීය.

ඔබේ බදු අඩු කිරීම් ගණනය කිරීමට ඔබ තෝරා ගන්නා ක්‍රමය කුමක් වුවත්, මූල්‍ය වර්ෂය පුරාවට ඔබ නිවසේ සිට වැඩ කිරීම ආශ්‍රිත සියලු වියදම් පිළිබඳ වාර්තා තබා ගැනීමට ඔස්ට්‍රේලියානු බදු කාර්යාලය ජනතාවට උපදෙස් ලබා දෙයි.

මෙමගින් ඔබගේ තත්වයන්ට අනුව බදු ප්‍රතිලාභ ගෙවන කාලය තුළදී හොඳම බදු අඩු කිරීමක් ලබා දෙන ක්‍රමය තෝරා ගැනීමට ඔබට වඩාත් නම්‍යශීලී බවක් ලබා දෙනු ඇති බව ලෝ මහතා වැඩිදුරටත් පැවසීය.

භාෂා 30කට වඩා වැඩි ගණනකින් බදු හා සම්බන්ධ තොරතුරු ලබා ගැනීමට ඔබට හැකිවේ.

Share
Published 21 February 2023 9:28pm
By Amy Hall, Athini Amarasiri
Source: SBS


Share this with family and friends