කේතනය කළ (encrypted) පණිවිඩ සඳහා පිවිසීමට ආරක්ෂක අංශ වලට බලය ලබාදීමට ඔස්ට්‍රේලියාවේ නීති සම්පාදනය කිරීම හරහා ආරක්ෂක අංශ වලට සිය මෙහෙයුම් කටයුතු සිදු කිරීමට ඉතා පහසු වී ඇති බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු අමාත්‍ය Peter Dutton පවසයි.
කේතනය කළ පණිවිඩ සඳහා පිවිසීමට අවසර ලබාදෙන නීති පසුගිය වසරේ අග භාගයේදී ඔස්ට්‍රේලියානු මධ්‍යම පාර්ලිමේන්තුවේදී සම්මත විය.

Source: SBS
ජාතික ආරක්ෂාව සම්බන්ධ නව නීති බලාත්මක කිරීම
ත්‍රස්ත ක්‍රියා සඳහා සම්බන්ධ සැකකරුවන් පිළිබඳ සෝදිසි මෙහෙයුම් වලදී මෙම නීති මහඟු ප්‍රයෝජනයක් වූ බව ඔස්ට්‍රේලියානු මධ්‍යම රජයේ ස්වදේශ කටයුතු අමාත්‍ය Peter Dutton චැනල් 9 සේවයට පැවසීය.
පසුගිය සතියේදී IS සංවිධානය සමග සම්බන්ධ බවට සැක කෙරුණු පුද්ගලයින් තිදෙනෙකු සිඩ්නි නුවරදී අත්අඩංගුවට ගැනීමේදී පවා මේ නව නීති ඉවහල් වූ බව ඔහු පෙන්වා දුන්නේය.
එම සැකකරුවන් සිඩ්නි කලාපයේ පොලිස් ස්ථාන කිහිපයකට මෙන්ම කොන්සල් කාර්යාල සහ දේවස්ථාන කිහිපයකට ද ප්‍රහාර එල්ල කිරීමට සැලසුම් කරමින් සිටි බව වාර්තා විය.
මෙම නව නීති වලින් ත්‍රස්ත ක්‍රියා, ළමා ලිංගික අපයෝජකයින් සහ දරුණු ගණයේ අපරාධ සඳහා සිදු කෙරෙන පණිවිඩ හුවමාරුව වටලමින් ඒවා මැඩලීම ප්‍රධාන අපේක්ෂාව වේ.

Minister for Home Affairs Peter Dutton Source: AAP
අන්තවාදයට සම්බන්ධිත ඔස්ට්‍රේලියානු පුරවැසියන්ට ඔස්ට්‍රේලියාව තහනම්
මේ අතර විදේශයන්හි අන්තවාදී ක්‍රියාවන්ට සම්බන්ධවී නැවතත් ඔස්ට්‍රේලියාවට පැමිණෙන ඔස්ට්‍රේලියානු පුරවැසියන් හට වසර දෙකක් යනතුරු ඔස්ට්‍රේලියාවට පැමිණීම තහනම් කිරීමට අදාළ නව නීති පසුගිය සතියේදී ඔස්ට්‍රේලියානු මධ්‍යම රජය ඉදිරිපත් කළේය.
කම්කරු පක්ෂය මේ සඳහා සංශෝධන එක් කිරීමට යෝජනා කළ අතර බුද්ධිමය සහ ආරක්ෂක කටයුතු සම්බන්ධ පාර්ලිමේන්තු කමිටුව සංශෝධන 18 කට යටත්ව එම පනත් කෙටුම්පත සම්මත කිරීමට නිර්දේශ කළේය.
මේ අතර මේ සම්බන්ධ මධ්‍යම රජයේ ප්‍රතිචාරය පිලිබඳ කම්කරු පක්ෂය බලා සිටින බව ස්වදේශ කටයුතු පිළිබඳ විපක්ෂයේ නියෝජිතවරිය වන Kristina Keneally පැවසුවාය.

Source: SBS Sinhala