ඕස්ට්‍රේලියාවේදී මාපිය උරුමයෙන් ලැබෙන දේපල සහ ධනය සඳහා බදු අයකරන්න රජයට යෝජනාවක්

2025-02-25_14-32-12.jpg

The Australian government should consider an inheritance tax, similar to that in the US or UK, not-for-profits have argued. Source: Getty / JohnnyGreig

දෙමාපියන්ගෙන් හෝ පාරම්පරිකව උරුම වන ධනය සඳහා ඔස්ට්‍රේලියාව තුල බදු අයකිරීමක් සිදුවන්නේ නෑ. කෙසේ උවත් මේ ආකාරයට එක පරම්පරාවකින් තවත් පරම්පරාවකට හුවමාරු වන ධනය වෙනුවෙන් බදු අයකිරීමක් සිදුකලයුතු බවට යෝජනාවක් මේ වනවිට ඔස්ට්‍රේලියාව තුලින් ඇතිවෙමින් තිබෙනවා.


LISTEN TO
sinhala_250225_vinivida_feb_web image

'රජය විදේශීය නිවාස ගැනුම්කරුවන්ට දාපු තහනම මෙහෙ අලුත් ගැනුම්කරුවන්ට සහනයක්': 'විනිවිද' මත විමසුම

SBS Sinhala

24/02/202518:16
"Baby Boomers" ලෙස හැඳින්වෙන 1946 ත් 1964 ත් අතර කාලයේ ඉපදුනු මිලියන 4ක් පමණ වන ඕස්ට්‍රේලියානුවන් සතුව ඩොලර් ට්‍රිලියන 4.9ක පමණ වත්කම් ඇති බව CoreData ආයතන වාර්තාව හරහා පෙන්වා දෙනවා.

මීළඟ දශක දෙක තුල ඩොලර් ට්‍රිලියන 3.5ක පමණ ධනයක් ඕස්ට්‍රේලියාවේ ඊළඟ පරම්පරාව වෙත හුවමාරු වීම සිදුවනු ඇති බවට Griffith විශ්වවිද්‍යාලයේ පර්යේෂකයින් අනාවැකි පළකර සිටිනවා. දල වශයෙන් මෙම ධනයට උරුමකම් කියන එක් පුද්ගලයෙක් $320,000 ක පමණ මුදලක් සඳහා හිමිකම් කියනු ඇති බවටද වාර්තා වනවා.

මෙම ධනය ඊළඟ පරම්පරාවට උරුමයන් ලෙස හුවමාරු වීමේදී ඒ සඳහා බදු අයකිරීමේ ක්‍රමවේදයක් ඕස්ට්‍රේලියානු බදු ක්‍රමවේදය තුල නොමැති බව Anglicare Australia ආයතනය පෙන්වා දෙනවා.

මේ හේතුවෙන් විවිද වත්කම් වලට හිමිකම් කියන ධනවත් ඕස්ට්‍රේලියානුවන් සහ වැටුප් මත පමණක් යැපෙන අනෙකුත් ඕස්ට්‍රේලියානුවන් අතර ආර්ථික වශයෙන් විශාල බෙදීමක් ඇතිවී ඇති බව ඔවුන් පෙන්වා දෙනවා.

මෙයට විසඳුමක් ලෙස උරුමයන්ගෙන් ලැබෙන ධනය සඳහා බදු අයකිරීමට විවිද යෝජනා ඉදිරිපත් කිරීමට Anglicare Australia ආයතනය කටයුතු කර තිබෙනවා. ඔවුන්ගේ එක යෝජනාවකට අනුව ඩොලර් මිලියන 2ක ඉක්මවන උරුමයන්ගෙන් ලැබෙන ධනය සඳහා බදු පැනවීමට යෝජනා කර තිබෙනවා. මේ අනුව කුඩා ප්‍රමාණයේ මුදලක් උරුම උවහොත් එයට බදු අය
කිරීමක් සිදු නොවනවා. කෙසේ උවත් එංගලන්තය වැනි රටක වර්තමානය වනවිටත් මේ ආකාරයේ බදු අයකිරීම් සිදුවන අතර $644,000ක් වැනි ප්‍රමාණයක් ඉක්මවා ලැබෙන ධනය සඳහා බදු අයකිරීමක් සිදුවනවා.

දෙවන යෝජනාව ලෙස උරුමයන්ගෙන් ලැබෙන වත්කම් සඳහා බදු අයකිරීමටද යෝජනා වී තිබෙනවා. මේ අනුව නිවාස සහ දේපල වැනි දෑ තම දරුවන්ට පැවරීමේදී ඒ සඳහා බදු අය කිරීමට බලාපොරොත්තු වනවා. මේ හරහා සමාජයේ ධනය බෙදීයාමේ විෂමතාවය අඩුවනු ඇති බවට Anglicare Australia ආයතනය විශ්වාසය පළකර සිටිනවා.

කෙසේ උවත් දේපල උරුමයන් සඳහා බදු අයකිරීම පිළිබඳව විවිද පාර්ශව තම විරෝධයද පළකර සිටිනවා. නිවාස සහ දේපල සඳහා ප්‍රාග්ධන ලාභ බදු වැනි විවිද බදු අයකිරීම් සිදුවන අතර මෙම බදු යෝජනාව හරහා විශාල අමතර බදු පැනවීමක් සිදුවන බවටද ඇතැමුන් පවසා සිටිනවා.

Superannuation ගිණුම් වල ඇති මුදල් උරුමයෙන් ලෙස ලැබීමේදී ඒ සඳහා බදු අයකිරීමක් සිදු නොවනවා. මේ හරහා ධනවත් පුද්ගලයින් බදු ගෙවීමකින් තොරව තම ධනය තම දරුවන් වෙත ලබාදීමට ඇති උපක්‍රමයක් ලෙස මෙය භාවිතා කරන බව Anglicare Australia ආයතනය පෙන්වා දෙනවා. මේ සඳහා රජයේ අවදානය යොමුවිය යුතු බවටද ඔවුන් ප්‍රකාශ කර සිටිනවා.

********************************************************************************






ඕස්ට්‍රේලියාවේ කාලීන තොරතුරු ඇතුලත් SBS සිංහල සේවයේ කෙටි පොඩ්කාස්ට් වලට සවන් දීමට, Apple Podcasts, Google Podcasts, Spotify, හෝ ඔබ කැමති වෙනත් පොඩ්කාස්ට් මාධ්‍යයකට පිවිස SBS සිංහල ලෙස සර්ච් කරන්න.






********************************************************************************

Share