ඔස්ට්‍රේලියානුවන් වසරකට ඩොලර් බිලියන 10ක ආහාර අපතේ හරියි : නවතම වාර්තාවක් පෙන්වා දෙයි. (SBS සිංහල / වාර්තා)

RaboDirect Financial Health Barometer 2016 Food and Farming Report වාර්තාවට අනුව ඔස්ට්‍රේලියාවේ නිවසක වසරකට අපතේ හරින ආහාර ප්‍රමාණයෙහි වටිනාකම ඩොලර් 1100 ක් වන අතර ඒවා අතරින් සතිපතා භාවිත කරන ආහාර පාන 14%ක් අඩංගු වේ

Australians waste $10bn of food a year

Australians waste $10bn of food a year Source: Shutterstock

වසරකට ඩොලර් බිලියන 10ක පමණ ආහාර ඔස්ට්‍රේලියානුවන් විසින් අපතේ හරින බව නවතම වාර්තාවකින් පෙන්වා දී තිබේ. ඔස්ට්‍රේලියාවේ තරුණ පරපුර මෙම චෝදනාවෙහි ප්‍රධාන වරදකරුවන් ලෙස එම වාර්තාව පෙන්වා දෙයි.

 වාර්තාවට අනුව ඔස්ට්‍රේලියාවේ නිවසක වසරකට අපතේ හරින ආහාර ප්‍රමාණයෙහි වටිනාකම ඩොලර් 1100 ක් වන අතර ඒවා අතරින් සතිපතා භාවිත කරන ආහාර පාන 14%ක් අඩංගු වේ. මීට අමතරව තරුණ පරපුරෙහි සෑම සිව්දෙනෙකුගෙන් එක් අයකුම තම සතිපතා භාවිත කරන ආහාර පාන වලින් 20%ක් අපතේ දමයි.

කෘෂිකර්මය හා ආහාර නිෂ්පාදනය පිළිබඳ අවම දැනුවත්කම සහ ආහාර අපතේ හැරීම අතර සහ සම්බන්ධයක් ඇති බවද මෙම වාර්තාව පෙන්වා දෙයි.

ඔස්ට්‍රේලියාවේ කෘෂිකර්මය හා ආහාර නිෂ්පාදනය නොවැදගත් යයි සළකන පිරිස තම සතිපතා ආහාර පාන වලින් 25%ක ප්‍රතිශතයක් අපතේ හරින අතර  ඔස්ට්‍රේලියාවේ කෘෂිකර්මය හා ආහාර නිෂ්පාදනය වැදගත් යයි සළකන පිරිස 13%ක ප්‍රතිශතයක් අපතේ හරින බව Rabobank ආයතනයේ විශේෂ නියෝජිත Glenn Wealands පැවසීය.

වයස අවුරුදු 16ත්  65ත් අතර 23,000ක පමණ පිරිසක් උපයෝගී කරගෙන සිදු කළ සමීක්ෂණයකින් හෙළිවී ඇත්තේ  ආහාර අපතේ හැරීම ප්‍රාදේශීය කලාප වලට වඩා නගරබද ප්‍රදේශවල ඉහළ බවය. විශේෂයෙන් සිඩ්නි වැනි නගරවල මෙම තත්වය බහුලව දක්නට ඇති බව පැවසේ. ආහාර පාන සඳහා සතියක වියදම අනෙක් ප්‍රාන්ත සමග සසඳන කළ ඉහලම අගය වාර්තා වන්නේ සිඩ්නි නුවරින්ය. ඒ අනුව සිඩ්නි නගරයේ සාමන්‍යයෙන් සතියක ආහාර පාන සඳහා වියදම ඩොලර් 163ක් වන තර නිව් සවුත් වේල්සයෙහි ඩොලර් 159ක් වෙයි. ක්වීන්ස්ලන්තයේ සහ Australian Capital Territory හි එම අගය ඩොලර් 154ක් වන අතර  වික්ටෝරියා ප්‍රාන්තයේ ඩොලර් 149කි. බටහිර ඔස්ට්‍රේලියාවේ ඩොලර් 146ක්ද දකුණු ඔස්ට්‍රේලියාවේ හා ටස්මේනියාවේ ඩොලර් 145ක් ලෙසින්ද වාර්තා වේ.

උපයෝජ්‍ය ආදායම සහ ආහාර අපතේ හැරීම අතරද මෙම වාර්තාවට අනුව සහ සම්බන්ධයක් පවතින බව පවසන Glenn Wealands පෙන්වා දෙන්නේ තරුණ පරපුරට නිවාස සඳහා කුලී ගෙවීම්, ණය ගෙවීම් වැනි වියදම්වල වගකීමක් නොමැති හෙයින් ඔවුන්ට ආර්ථික පීඩනයක් නොදැනෙන නිසා ආහාර අපතේ හැරීමෙහි බරපතල බව පිළිබඳ ඔවුන්ට මනා අවබෝධයක් නොමැති බවයි.

තම ආහාර වේල් පිළිබඳ මනා සැලැස්මක් ඇති කරගැනීමෙන් නිවැසියන් හට ආර්ථික පීඩනයෙන් මිදීමට හැකිවන බවද Glenn Wealands පෙන්වා දෙයි.

ඔස්ට්‍රේලියාව තුළ ආහාර පාන අපතේ හැරීමේ සැබෑ අගය ඉහත වාර්තාව පෙන්වා දුන් අගයට වඩා සිව් ගුණයකින් වැඩි බව OzHarvest සංවිධානයේ නිර්මාතෘ හා ප්‍රධාන විධායක Ronni Kahn පැවසීය.

“මේ සම්බන්ධයෙන් නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ වාර්තාවක් නුදුරේදීම අපට ලැබෙනවා. එම වාර්තාවට අනුව නිවසකින් වසරකට අපතේ හරින ආහාර ප්‍රමාණයෙහි වටිනාකම ඩොලර් 4000 පමණ වෙනවා.” ඇය පැවසීය.

පසුගිය ජුනි මාසයේ Foodprint වාර්තාවට අනුව මෙල්බන් නුවර නිවසකින් වසරකට අපතේ හරින ආහාර ප්‍රමාණයෙහි වටිනාකම ඩොලර් 2200 ක් පමණ වන බව ගණන් බලා තිබෙන අතර එය පුද්ගලයකු විසින් කිලෝ ග්‍රෑම් 200ක ආහාර ප්‍රමාණයක් වසරකට අපතේ හැරීමක් බවට සමානය.

ආහාර අපතේ යැවීම සහ ආහාර නිෂ්පාදනයේ යාන්ත්‍රණය පිළිබඳ නොදැනුවත්භාවය අතර සහ සම්බන්ධයක් ඇති බව Ronni Kahn පෙන්වා දෙයි.

“වට්ටෝරුව යනු ඉතා වැදගත් දෙයක් බව මිනිසුන් ඉගෙන ගත යුතුයි. වෙළෙඳ පොළට යාමට පෙර ඔබේ ශීතකරණය සහ මුළුතැන්ගෙයි අල්මාරි විවෘත කර බලන්න. එවිට මිලට ගැනීමට අවශ්‍ය කුමක්දැයි ඔබට වැටහේවි. එම ලැයිස්තුවත් සමග නිවසින් පිටවී යන්න. මෙම පුරුද්ද මගින් ඔබට වසරකට ඩොලර් 3000ත් 4000ත් අතර මුදල් ප්‍රමාණයක් ඉතිරි කරගත හැකිවෙයි.” Ronni Kahn වැඩි දුරටත් පැවසීය. 


Share
Published 26 September 2016 12:53am
Updated 26 September 2016 6:18am
By Madhura Seneviratne
Source: The Guardian Australia


Share this with family and friends